වේලාව: සවස 4.30 ට පමණ
ස්ථානය: බර්මියුඩා ත්‍රිකෝණය ඉහළ අහස
මෙහෙයුම: Navigation Problem Number One
පාලක මැදිරිය: ෆ්ලොරීඩා හි NAS Fort Lauderdale ගුවන් පාලක මධ්‍යස්ථානය
"පාලක මැදිරිය, මේ Flight 19 බලගණයේ FT-36 ගුවන් යානය යි. අවසන් බෝම්බය ඉලක්කය වෙත පතිත කිරීමට සූදානම්."
"FT-36, ඔබට අවසර ලැබෙනවා."
"බෝම්බය සාර්ථකව පතිත වුණා. මෙහෙයුම සාර්ථකයි. Flight 19 බලගණය නැවත මූලස්ථානය වෙත පැමිණෙනවා."
මිනිත්තු 40 කට පමණ පසු.....
"Flight 19, මේ පාලක මැදිරිය යි. කරුණාකර ඔබේ පිහිටීම වාර්තා කරන්න."
පිළිතුරක් නැත.....
මේ අතර මීට කිලෝමීටර කිහිපයක් ඈතින් පියාසර කෙරෙමින් ඇති උක්ත මෙහෙයුමේ ම යෙදී සිටින වෙනත් බලගණයක ප්‍රධාන යානාවට (FT-74) අපැහැදිලි පණිවිඩයක් ලැබේ.
"මේ FT-28 ගුවන් යානය යි. කරුණාකර උදව් කරන්න..!"
"මේ FT-74 ගුවන් යානය යි. FT-28, ඔබේ පිහිටීම වාර්තා කරන්න. අප සහායට පැමිණෙනවා."
"අපේ ගුවන් යානා පහේම මාලිමා යන්ත්‍ර අක්‍රීය යි. අපට Fort Lauderdale ඇති දිශාව සොයා ගැනීමට බැහැ. කරුණාකර උදව් කරන්න!"
![]() |
෴අතුරුදහන් වූ TBM Avenger යානා පහ෴ |
දෙසැම්බර් 5 වනදා ෆ්ලොරීඩා හි NAS Fort Lauderdale සිට Navigation Problem Number One පුහුණු මෙහෙයුම ආරම්භ වූයේ ගුවන් බලගණ (ගුවන් යානා සමූහයක්) කිහිපයක සහභාගීත්වයෙනි. සෑම බලගණයකම ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවෙකු කටයුතු කල අතර මෙහෙයුමේ අරමුණ වූයේ නිශ්චිත ඉලක්කයකට බෝම්බ දැමීම සහ නැවත මූලස්ථානයට පැමිණීම නවක ගුවන් නැවියන්ට පුහුණු කිරීමයි. ඉහත සඳහන් කළ Flight 19 බලගණය TBM Avenger වර්ගයේ බෝම්බ හෙළන යානා පහකින් සමන්විත විය. ලුතිනන් චාල්ස් කැරොල් ටේලර් ගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම ආරම්භ කල බලගණයේ මුළු සාමාජික සංඛ්‍යාව දහ හතරක් විණි. පස්වරු 2.15 ට NAS Fort Lauderdale වෙතින් පිටත් වූ මෙම යානා සමූහය පුහුණුව සාර්ථකව නිමා කොට නැවත පැමිණෙන අතරවාරයේ බර්මියුඩා ත්‍රිකෝණය ඉහළ අහසේදී කිසිදු සාක්ෂියක් ඉතිරි නොකොට, අත්භූත ලෙස අතුරුදහන් වූහ!
ඉහත දෙබසින් පසු FT-74 යානාවේ ප්‍රධානියා වූ ලුතිනන් රොබට් කොක්ස් විසින් මේ පිළිබඳව Fort Lauderdale පාලක මැදිරිය දැනුවත් කරන ලද අතර ඒ හරහා Flight 19 බලගණයට තම යානා වල වම් පස තටු හිරු දෙසට එල්ල වන ආකාරයට පියාසර කරන ලෙසට අණ ලැබුණි. ඔවුන් ඒ අනුව පියාසර කිරීම ආරම්භ කළ බව FT-74 යානාවට දැනුම් දුන්හ. කෙසේ හෝ මේ ආකාරයට රාත්‍රී 7 පමණ වන තෙක් Flight 19 හි FT-28 යානාව, FT-74 සමග විටින් විට සම්බන්ධ වූවත්, ඔවුන් ලබා දුන් පණිවිඩ ඉතාමත් අපැහැදිලි විය. පැය කිහිපයක් තිස්සේ පාලක මැදිරිය උපදෙස් දුන් ගමන් මාර්ගය දිගේ පියාසර කළ ද, Flight 19 යළි කිසිදු දිනෙක Fort Lauderdale වෙත පැමිණියේ නැත.
අතුරුදන් වූ යානා සෙවීමේ කටයුතු වහා ආරම්භ විය. බොහෝ වගකිව යුතු නිළධරයන් ගේ අදහස වූයේ අතරමං වුණු යානාවන් පැය කිහිපයක් පුරා ඒ මේ අත පියාසර කොට ඉන්ධන අවසන් වූ පසු මුහුදට කඩා වැටුණු බව යි. සාගරයට ඉහළින් ගමන් ගනිමින් තිබූ යානයක් කුමන හේතුවක් නිසා අනතුරකට ලක් වුවත් එය කඩා වැටිය යුත්තේ සාගරයට ය. එවිට දින කිහිපයකට පසු හෝ අනතුර සිදු වූ ස්ථානයේ ජලය මතුපිට යානයේ සුන්බුන්, තෙල් පැල්ලම් ආදිය දැක ගත හැකි වේ. නමුත් Flight 19 සිදුවීමේ දී එබඳු ද්‍රව්‍යයන් කිසිවක් හමු වූයේ නැත. දැවැන්ත හා බලගතු, බෝම්බ හෙළන යුධ ගුවන් යානා පහක් ගුවන් නැවියන් දහ හතර දෙනෙකු ද සමග සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී තිබිණ.
![]() |
෴ඉහළ අහසේදී පුපුරා ගිය PBM Mariner යානාව෴ |
මේ අතර Flight 19 සෙවීමට බර්මියුඩා ත්‍රිකෝණයට ඉහළින් පියාසර කළ PBM Mariner වර්ගයේ ගුවන් යානාවක්ද එහි කාර්යමණ්ඩලයේ දහතුන් දෙනෙකු සමග අත්භූත ලෙස අතුරුදහන් විණි! පසුව සොයා ගැනුනේ එම යානාව යම් හේතුවක් නිසා අහසේදී පිපිරී විනාශ වුණු බව යි. එහෙත් එම පිපිරීමට හේතුව හෙළිදරව් වූයේ නැත.
පරීක්ෂණ වලදී හෙළි වුණු ආකාරයට පාලක මැදිරිය හා සම්බන්ධතාවය ඇණ හිටි අවස්ථාවේ දී Flight 19 සිටියේ Fort Lauderdale සිට කිලෝමීටර 370 ක් පමණ ඈතිනි. කෙසේ හෝ පරීක්ෂණ කටයුතු අවසානයේ කිසිවෙකුටත් අතුරුදන් වූ බලගණය ගැන නිශ්චිත අදහසක් ඉදිරිපත් කළ හැකි වූයේ නැත. ඉන්ධන අවසන් වීමෙන් යානාවන් සාගරයට කඩා වැටෙන්නට ඇති නමුත් ඒවායේ සුන්බුන් කිසිත් හමු නොවූ බවත්, බලගණ නායක ලුතිනන් චාල්ස් ටේලර් බහමාස් හි දූපත්, ෆ්ලොරීඩාවේ දූපත් යැයි වරදවා වටහා ගෙන නියමිත ගුවන් මාර්ගයෙන් එපිට ට යන්නට ඇති බවත් අනුමාන කිරීම් ලෙස පරීක්ෂණ වාර්තාවේ සටහන් විණි. යානා සෙවීමේ කටයුතු අත්හැර දමන ලදී.
![]() |
෴අවසන් පරීක්ෂණ වාර්තාවට අනුව බලගණයේ ගමන් මග෴ |

Flight 19 බලගණය අනතුරකට ලක් වී මුහුදුබත් වූවා ද? නැතහොත් සමහරුන් පවසන ආකාරයට බර්මියුඩා ත්‍රිකෝණයේ දී ඔවුන් පිටසක්වළ ජීවීන් විසින් පැහැර ගනු ලැබුවා ද?
"All Planes, close up tight. We'll have to ditch unless landfall. When the first plane drops below ten gallons, we all go down together..."
ඒ Flight 19 ප්‍රධානී ලුතිනන් ටේලර් ගේ අවසන් පණිවිඩය යි...
නියමයි. ඔය බර්මියුඩා ත්‍රිකෝනෙට වෙන්නැති පැරැන්නෝ මකර කට කිව්වේ.
ReplyDeleteවර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න.
Deleteබොහොම ස්තූතියි! :) මම හිතන්නේ ඔව්, මොකද බර්මියුඩා ත්රිකෝණෙට සමහරු Devil's Triangle කියලත් කියනවා. ඊළඟ පෝස්ට් එකෙන් ඒක ගැන ලියන්නම්. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කළා. :)
Deleteමම හරි කැමතියි තාරකා විද්‍යාවට. ඔබේ බ්ලොග් එක ඒ ගැනද? බර්මියුඩා ත්‍රිකෝණය ගැන හරි වෙනස් මත තියෙනවා නේද? මේ ලිපිය කියෙව්වා. ඉතිරි ඒවා නිවාඩුව කියවන්නම්.
ReplyDeleteමගෙත් පුංචිම කාලේ ඉඳන් ආසම විෂය තාරකා විද්‍යාව.. :) ඇත්තටම මේක ලියැවෙන්නේ පිටසක්වළ ජීවය ගැන. මම අවුරුදු ගාණක් තිස්සේ එකතු කරගත්ත තොරතුරු. ඒ වගේම ඉස්සරහට කළු කුහර, පල්සාර/ක්වසාර, ප්‍රතිපදාර්ථය වගේ දේවල් ගැනත් ලියන්න හිතන් ඉන්නවා. :)
Deleteසෑහෙන්න මත තියෙනවා. මම ඊළඟ ලිපියෙන් ඒ ගැන ලියන්නම්. බොහොම ස්තූතියි! :)
පට්ටම බ්ලොගක්නේ... අදයි දැන ගත්තේ මෙතැන ගැන. කෝ ෆලෝවර් ගැජට් එක නැද්ද
ReplyDeleteබොහොම ස්තූතියි නලීන් අයියේ... :) මේ තියෙනවා, වම් පැත්තේ Syndicators ගැජට් එකට උඩින්.. :O
Deleteමලයා අර ටිටිකාකා විලේ කතාව එහෙමත් ලියන්නකො. අතීතයේ ඉඳන් පිටසක්වලයන්ගේ සම්බන්ධතා තිබුනාය කියන එක තහවුරු කරන සාධක එකතු කරලා ලියන්න පට්ට ලිපියක්.
ReplyDeleteඅනිවාර්යයෙන්ම ලියන්නම් අක්කේ... :) සෑහෙන්න දිග ලිපියක් ලියන්න පුළුවන් මාතෘකාවක්.. මේ මාස කීපයෙ කාලය ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා, තාම බර්මියුඩාව ගැන ලිපියෙත් භාගයයි ලිව්වේ. :/ පුළුවන් ඉක්මණින් ටිටිකාකා ගැනත් ලියන්නම්... :)
Deleteආසාවෙන් කියෙව්වා....ඊලඟ ලිපිය දානකන් නොයිවසිලිමත්ව බලන් ඉන්නවා අශාන්
ReplyDeleteබොහොම ස්තූතියි..! :) ඉක්මණින්ම දාන්නම්.. :)
Deleteනොවිසදුන ගැටළුවක්.
ReplyDeleteඉතා වටිනා ලිපියක්.
සුබ නව වසරක් වේවා.
බොහොම ස්තූතියි... දිගටම එන්න.. ඔබටත් එසේම වේවා! :)
Delete👌❕
ReplyDelete