Tuesday, October 21, 2014

අසිරිමත් විශ්වය

"තාත්තේ, මොනවද අර අහසෙ තියෙන ලස්සන පුංචි බෝල?"

"ඒ තමයි පුතේ තරු. ඉර මාමා හවසට ගෙදර ගියාම එයාලා අහසට එනවා."

"ඇයි ඒ? එයාල ඉර මාමට බය ද??"

ඒ ඔබේත්, මගේත් ළමා කාලයයි. පාසල් අවධිය ඇරඹීමටත් පෙර සිටම අපි රාත්‍රී අහස දෙසට නෙත් යොමු කළෙමු. දැනුම් තේරුම් නැති කාලයේදී  හඳ මාමා ගෙනෙන කිරි පැණි, හඳේ හාවා, තරු නැන්දා සහ තරු මාමා ගැන කතා අසමින් සතුටු වූයෙමු. මේ අපට දැනුම් තේරුම් ඇති කාලයයි. එහෙත්... අද අප රාත්‍රී අහස ගැන දන්නේ මොනවාද? පිළිතුරු දීමට වඩාත් පහසු වන ලෙස ප්‍රශ්නය ඇසුවහොත්, අද අප රාත්‍රී අහස ගැන නොදන්නේ මොනවාද?



විශ්වයේ ඇති දැවැන්ත බව හා විශ්මයජනක බව පිළිබඳව මීට පෙරද සැබැවින්ම පිටසක්වළ ජීවයක් පැවතිය නොහැකිද? ලිපියේ සඳහන් කළ බැවින් එයම නැවත පුනරුච්චාරණය කළ යුතු නැත. සැබැවින්ම විශ්වය යනු සාපේක්ෂව සිතීමට පුරුදු වුණු සාමාන්‍ය මිනිසෙකුගේ පමණක් නොව වර්තමාන විද්‍යාඥයෙකුගේද දැනුම් පරාසය ඉක්මවා යන්නකි. විශ්වයේ ආරම්භය කොතැනද, අවසානය කොතැනද, සීමාවන් මොනවාද සහ විශ්වයේ ඇති එකම ජීවී ග්‍රහලෝකය පෘථිවියද යන ප්‍රශ්නවලට මිනිසා සතුව නිශ්චිත පිළිතුරු නැත. එහෙත් විවිධාකාර ගවේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙස සාධනීය කල්පිත හා මතවාදයන් ගොඩ නැගීමට මිනිසා හට හැකි වී තිබේ.




වර්ෂ බිලියන 13.8 ක් පමණ වයසැති, පිකෝ මීටර ප්‍රමාණයේ අණ්වීක්ෂීය දුහුවිලි අංශු වල සිට ආලෝක වර්ෂ මිලියන ගණනක අරයන් ඇති මහා මන්දාකිණි ප්‍රාකාරයන් (Great Walls of Galaxies) දක්වා අතිශය පුළුල් පරාසයක පැතිරුණු ආකාශ වස්තූන්ගෙන් සමන්විත විශ්වයේ සැබෑ විශාලත්වය තවමත් කිසිවෙකුත් නොදනී. පෘථිවියේ සිට නිරීක්ෂණය කළ හැකි ප්‍රදේශයේ (මෙය Observable Universe ලෙස හැඳින්වේ.) ගණනය කරන ලද අරය ආසන්න වශයෙන් ආලෝක වර්ෂ බිලියන 46 ක් වන අතර මෙම හඳුනා ගත් ප්‍රදේශය තුළ තාරකා සෙක්ස්ටිලියන 300ක් පමණද, මන්දාකිණි බිලියන 100ක් පමණද ඇති බවට අනුමාන කෙරේ! එහෙත් විශ්මයජනක කරුණ එය නොවේ. මෙලෙස අසීමිත ආකාශ වස්තූන් ප්‍රමාණයකින් සමන්විත වුවත්, විශ්වයේ සාමාන්‍ය ඝනත්වය 9.92 × 10⁻³⁹ kgmˉ³ ක් වැනි අතිශය සුළු අගයක් ගනී. එනම් මෙම අසීමිත ආකාශ වස්තූන් ප්‍රමාණය විශ්වය තුළ පිහිටා ඇත්තේ එකිනෙකින් නොගිණිය හැකි තරම් දුරිනි. ඒවා අතර ඇත්තේ අඳුරු, හිස් අවකාශයක් පමණි. (අඳුරු පදාර්ථ සහ අඳුරු ශක්තීන් පිළිබඳ ලිපි ඉදිරියේදී) මේ සියළු ගණනය කිරීම් අදාළ වනුයේ විශ්වයේ මිනිසා විසින් නිරීක්ෂිත ප්‍රදේශයට පමණක් වන බවද අවධාරණය කර ගත යුතුය.       

විශ්වය යනු භෞතික වශයෙන් පවතින සියළු දෑ හි එකතුව බවත්, විශ්වයෙන් ඔබ්බෙහි කිසිවක් පැවතිය නොහැකි බවත් පොදුවේ විශ්වාස කෙරුණද, සමහර විද්‍යාඥයෝ එම මතය ප්‍රතික්ෂේප කරති. ඒ වෙනුවට බහු විශ්ව කල්පිතය (multiverse hypotheses) ඉදිරිපත් කරන මොවුන්ගේ අදහස අනුව 'විශ්වය' යනු එවැනිම 'විශ්වයන්' සමූහයක එක් සාමාජිකයෙක් වන අතර මෙම සමූහයේ පවතින විශ්වයන් සංඛ්‍යාව කිහිපයක සිට අනන්ත සංඛ්‍යාවක් දක්වා විය හැකිය. තවත් ආකර්ෂණීය මතවාදයක් වන සමාන්තර විශ්ව සංකල්පය පෝෂණය කිරීමටද උක්ත කල්පිතය ඉවහල් විය.


කෙසේ හෝ වේවා විශ්වය යනු මෙලෙස එක් ලිපියකින් සාකච්ඡා කොට අවසන් කළ හැකි මාතෘකාවක් නොවේ. මෙය හඳුන්වා දීමක් පමණි. 

"තාත්තෙ, මටත් තරුවක් ගෙනත් දෙන්නකෝ?"

"තරු එහෙම ගේන්න බෑ පුතේ. හැබැයි පුතා හොඳට ඉගෙන ගත්තොත් එතකොට පුතාට පුළුවන් තරු ළඟටම යන්න.."

"ආව්..! ෂෝයි නේ..."

ඉතින්... මේ තාරකා විද්‍යා ලිපි පෙළක ඇරඹුමයි.....



අමතර කරුණු:
  • ආලෝක වර්ෂයක් යනු යම් ආලෝක කදම්බයක් සම්පූර්ණ වසරක් තිස්සේ ගමන් ගන්නා දුර වේ. ආලෝකය තත්පරයකදී ආසන්නව කිලෝමීටර ලක්ෂ 3ක (නිරවද්‍ය අගය- 299,792.5 km) දුරක් ගමන් කරයි. එවිට ආලෝකය වසරක් තුළදී ගමන් කරන දුර = 300,000 x 60 x 60 x 24 x 365 = 9,460,800,000,000 km (කිලෝමීටර ට්‍රිලියන 9.46)
  • සෙක්ස්ටිලියනය = 1 x 10²¹
  • පිකෝමීටර 1 = මීටර 1 x 10ˉ¹²

21 comments:

  1. හොයාගෙන යද්දි එක තවත් දුර කියල පෙනෙයි.... හරියට මිරිගුවක් වගේ වේවි...

    ReplyDelete
    Replies
    1. මිනිසා කොයිතරම් දියුණුයි කිව්වත් අපි දන්නා දේට වඩා දහස් ගුණයක් නොදන්නා දේ තියෙන බව හරියටම තේරෙන්නේ මේ වගේ විෂයයන් වලදී.. :)

      Delete
  2. දා දා ඉක්මණට මේකෙ ලිපි සෙට් එක ආසාවෙන් ඉන්නවකියවන්න...
    සමාන්තර විශ්වකියද්දිම ඔළුවට ගහන්නෙ මායා බන්ධන...
    හෙක් හෙක්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඉක්මණටම දාන්නම්..
      මටත් තියෙනවා ඔය ලෙඩේ.. ආශ්කායි, සන් අධිරාජයයි, අර බෝට්ටුවයි.. :D

      Delete
  3. සමහර විට විශ්වය අපි හිතන තරම් පළල් නැතිවත් ඇති.. නැත්නං අපි හිතනවට වඩා විශාල ඇති. ඒත් කව්ද දන්නේ.. මම තාමත් ඔය ගැන සමහර වෙලාවට හිතනවා. ඔළුව පිස්සු වගේ... ජය වේවා මචෝ.. වැඩේ දිගටම කරගෙන යමු. මෙන්න මේ වගේ කියවන්න ආසා හිතෙන විදයට විද්‍යාත්මක කරුණු අඩුවෙන් ඉදිරිපත් කිරීමයි ඉතා වැදගත්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. තාමත් ළඟින්ම තියෙන ග්‍රහ ලෝකයටවත් ගොඩ බහින්න බැරි වුණු අපිට යන්න තියෙන ගමන සෑහෙන දුරයි. ඉදිරියේදී හොයාගන්න දේවල් අපි හීනෙකින්වත් බලාපොරොත්තු නොවෙච්ච දේවල් වෙන්නත් පුළුවන්..එක අතකට ආලෝක වර්ෂ බිලියන 92ක ප්‍රදේශයක් හොයාගැනීමම ලොකු දෙයක්..
      බොහොම ස්තූතියි දේශකයා.. :) විෂයය ගැන උනන්දුවක් නැති අයවත් මේ පැත්තට ගෙන්න ගන්න තමයි මගෙත් උත්සාහය.. :)

      Delete
  4. හරිම වටිනව මේ වගෙ ලිපි.යමක් ඉගෙන ගන්න හිතන්න පොළඹවන බ්ලොග් තමයි අපට ඕන.විශ්වය මටත් විශ්මයක්.එන්නම් කියවල යමක් ඉගෙන ගන්නට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යකා.. දිගටම එන්න.. :)

      Delete
  5. හුඟක් ආසාවෙන් කියෙව්වා... දෙයක් රසවත්ව ලියන්න ගන්න උත්සාහය අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි..! :)

      Delete
  6. අශාන් දවල් තරුත් තියනවා නේද ;) :D ..........බලමු බලමු ඊළඟට විශ්වය ගැන මොනවද කියන්න යන්නේ කියල ..ජයවේවා !!

    ReplyDelete
    Replies
    1. මේ දැන් ටිකකට කලින් දවල් තරු බලලා ආවේ... -_- Blogger profile එකට sign in වෙන්න ගියාම Welcome to Blogger. Create a new profile කියල එනවා.. බලද්දි මගේ Google+ profile එක අතුරුදහන්. >_< තරු නෙමෙයි නිහාරිකාත් පෙනුණා. දැනුයි යන්තම් වැඩේ ගොඩ දාගත්තේ.. :D
      ලියලත් ඉවර ලිපි කීපයක්ම තියෙනවා පෝළිමේ.. ;) දිගටම එන්න..

      Delete
    2. හපොයි මෙන්න ඇත්තටම දවල් තරු පෙනිලනේ :( ..කවුද දන්නේ තරුවගේ එකපාරටම අතුරුදහන්වෙන්න ඕන කියල බ්ලොගේටත් හිතුනද දන්නෑනෙ ;)

      Delete
    3. දිගටම අතුරුදන් නොවී ආපහු එන්න හිතුණ එක නම් ලොකු දෙයක්.. :D

      Delete
  7. අඩේ මේ මං කැමතිම මාතෘකාවනේ. සක්වල ජීවීන්.

    පුංචි කාලෙ මේ ගැන මං පිස්සුවෙන් වගේ හෙව්වේ. තාමත් හොයන. ඒ වගේම විස්වාස කරනවා.

    ReplyDelete
    Replies
    1. මාත් ඒ ජාතියෙම කෙනෙක්.. :D තාරකා විද්‍යාව, පිටසක්වළ ජීවියෝ, ඩයිනෝසරයෝ, භූත ලෝකය.. කවදාවත් හොඳ වෙන්නෙ නැති ලෙඩ කීපයක්..

      Delete
  8. මුල් පේලි දෙක තුන කියවන කොට මගේ මතකයත් පුංචි කාලෙට ඇදී ගියා. ඒ කාලෙ තාත්තා කිව්වා "රෑ අහසෙ අපිට පේන්න තියෙන හැම එකක්ම තරු නෙවේ" කියලා. මම ඇහුවා "එහෙනං ඒ මොනවද?" කියලා. තාත්තා කිව්වා "නිවි නිවී පත්තු වෙන්නෙ (දිලිසෙන්නේ) තරු විතරයි. ඒ කියන්නෙ වෙනත් සෞරග්‍රහ මණ්ඩලවල තියෙන, අපේ වගේම ඉරවල්. නිවි නිවී පත්තු වෙන්නෙ නැතුව තියෙන්නෙ ග්‍රහලෝක" කියලා.

    ඒ කාලෙ අපි ගත කළේ සරල ජීවිත. දැන් වගේ ඉන්ටර්නෙට්, කම්පියුටර්, ලැප්ටොප්, ගේම්ස්, ෆේස්බුක් තිබ්බෙ නෑ. ටීවි එකෙත් කතා දෙක තුනකට වඩා ගියේ නෑ. හැම තිස්සෙම වත්තෙ පිටියේ දුවලා පැනලා සෙල්ලම් කර කර තමයි හිටියේ.

    ඒ කාලෙ මහා රෑ වෙනකනුත් එළියේ සෙල්ලම් කළා. එහෙම කරන කොට හැම තිස්සෙම අහස දිහා තමයි වැඩි හරියක්ම බැලුවෙ. තාත්තා කියලා දුන්න විදිහට ඉරවල් අතරින් ග්‍රහලෝක වෙන් කරන්න උත්සහා කළා. පුංචි නංගිලා මල්ලිලාටත් ඒ දේවල් කියලා දුන්නා. එයාලා එක්ක තරගෙට ග්‍රහලෝක, ඉරවල් ගණන් කළා මතකයි. ඒ කාලෙ රෑ අහස දිහා බලන කොට හිතුනා "අපි මේ විදිහට ග්‍රහලෝක දිහා බලාගෙන ඉන්නවා වගේම, ඒ ග්‍රහලෝකවල ඉන්න අයත් අපේ පෘතුවිය දිහා බලාගෙන ඇති" කියලා. අදටත් රෑ අහසෙ තරු, ග්‍රහලෝක දකින කොට නිතරම හිතෙන දෙයක් තමයි "විශ්වය තුළ අපි තනි වෙලා නෑ" කියන දේ :)

    ReplyDelete
    Replies
    1. ඒ වගේම විශ්වය දිග පළල සහ කෙලවර තියෙන්නෙ කොහෙද කියලත් ඒ දවස්වල කල්පනා කළා. තාම එව්වට උත්තර නෑ ! :D

      Delete
    2. ඔන්න දනුල මාවත් එක්කන් ගියා අතීතෙට.. :D සම්පූර්ණයෙන්ම එකඟයි. ඒ වගේම අපි පුංචි කාලෙ තිබ්බ ටීවී වැඩසටහන් පවා හරි ගුණාත්මකයි. සිංහල උපසිරැසි එක්ක ගියපු ඩිස්කවරි, සැරිසර වගේ වටින වැඩසටහන් දකින්න අපි වාසනාවන්ත වුණා. අද කොහොමද? රූපලාවන්‍යය, කේන්දර, චාට් ෂෝ, නළු නිළියන්ගෙ ඕපදූප.. කියල වැඩක් නැහැ..

      අපි වයසට යද්දිවත් ඒවට උත්තර හොයාගත්තොත් හොඳයි.. :D

      Delete
  9. අඳුරු පදාර්ථ සහ අඳුරු ශක්තීන් පිළිබඳ ලිපි ටික ඉක්මනටම දාන්නකෝ .... මමත් මේ දවස් වල ඒ ගැන තමයි සොයම්න් ඉන්නේ

    ReplyDelete
    Replies
    1. වැඩ ටිකක් වැඩි නිසා පොඩ්ඩක් පරක්කු වුණා, ඉක්මණින්ම දාන්නම් ළහිරු..

      Delete

සංවාදයට විවෘතයි.

Related Posts Plugin for WordPress, Blogger...