
ඒ අනුව සියළුම තාරකාවල බිහිවීම සිදුවන්නේ නිහාරිකාවන් (Nebulae) තුළදී ය. නිහාරිකාවේ යම් කොටසක ඇති වන ගුරුත්වජ බිඳවැටීමක් හෙවත් ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් නිහාරිකා කොටසේ අණුක සැකැස්ම බිඳවැටී සිදුවන හැකිළීමක් නිසා නව තාරකා බිහිවේ. මෙය බලා සිටිද්දී සිදුවන්නක් නොව වසර දහස් ගණන්, මිලියන ගණන් ගත කරමින් සිදුවන අතිශයින් මන්දගාමී ක්‍රියාවලියකි.
(වැඩිදුර තොරතුරු සඳහා තාරකා පෙළින් එහා... ලිපිය පරිශීලනය කරන්න.)
තාරකාවක ස්කන්ධය හා ආයුකාලය අතර ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධතාවයකි. ස්කන්ධය වැඩි තරුවල ආයුකාලය අඩු ය. ඊට ප්‍රධානතම හේතු වනුයේ ස්කන්ධයෙන් වැඩි තාරකා තුළ සිදුවන න්‍යෂ්ටික විලයන ක්‍රියාවලිය වේගවත් වීම සහ ඉන් වැඩි ශක්ති ප්‍රමාණයක් පිටතට මුදාහැරීමයි.
මෙලෙස බිහිවූ තාරකා විවිධ ආකාර රැසකින් වර්ගීකරණය කළ හැකි වුවද, පරිණාම ක්‍රියාවලිය පැහැදිලි කිරීමේදී බහුලවම යොදා ගැනෙන්නේ 'සූර්යයාට සාපේක්‍ෂව ස්කන්ධය' නැමැති වර්ගීකරණය යි. මෙහිදී සියළුම තාරකා කාණ්ඩ තුනකට වර්ග කෙරේ.
1. සූර්යයාට වඩා වැඩි ස්කන්ධයකින් යුත් තාරකා
2. සූර්යයාට සමාන ස්කන්ධයකින් යුත් තාරකා
3. සූර්යයාට වඩා අඩු ස්කන්ධයකින් යුත් තාරකා
සූර්යයාට වඩා වැඩි ස්කන්ධයකින් යුත් තාරකාවක පරිණාමනය
සාමාන්‍යයෙන් නිල් පැහැති, hyper giants (අතිදැවැන්තයින්) ලෙස හැඳින්වෙන මෙවැනි තාරකාවන්හි මතුපිට උෂ්ණත්වය කෙල්වින් 30,000 ක් පමණ වේ. ස්කන්ධයෙන් වැඩි නිසා ආයුකාලය වසර මිලියන කිහිපයකට සීමා වෙයි. වර්තමානයේදී මෙවැනි දැවැන්ත තාරකා ඉතා දුර්ලභ වන අතර අප ජීවත් වන ක්ෂීරපථ මන්දාකිණියේ ඇත්තේද දහයකට අඩු සංඛ්‍යාවකි. විශ්වයේ මුල් අවධියේදී මෙවැනි තාරකා බහුලව තිබෙන්නට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.
මෙම තාරකාවන් තමන් සතු හයිඩ්‍රජන් සියල්ල න්‍යෂ්ටික විලයනයෙන් හීලියම් බවට පත් කිරීමෙන් අනතුරුව අවකාශයට අති දැවැන්ත ශක්ති ප්‍රමාණයක් මුදාහරින සුපර්නෝවා පිපිරුමකට මුහුණ දෙයි. මෙම පිපිරීමෙන් පසු සූර්යයා මෙන් තුන්ගුණයක් පමණ විශාල වූ තාරකාවක් නියුට්‍රෝන තාරකාවක් බවටද, සූර්යයා මෙන් තුන්ගුණයකට වඩා විශාල වූ තාරකාවක් කළු කුහරයක් බවටද පත් වේ. (අති දැවැන්ත තාරකා සුපිරි කළු කුහර බවට පත් වනු ඇත.)
![]() |
෴නියුට්‍රෝන තාරකාවක්෴ |
![]() |
෴කළු කුහරයක්෴ |
සූර්යයාට සමාන ස්කන්ධයකින් යුත් තාරකාවක පරිණාමනය
පෘෂ්ඨීය උෂ්ණත්වය කෙල්වින් 6,000ක් පමණ වන, වර්ෂ බිලියන දහයක පමණ ආයුකාලයකින් යුතු සූර්යයා වැනි තාරකා සමහර අවස්ථාවන්හිදී කහ වාමන තාරකා (yellow dwarf stars) ලෙසද හැඳින්වේ. මේ කහ වාමනයෝ විශ්වය පුරාම සුලභ ලෙස පැතිරී සිටිති.
මෙම තාරකාවන් තමන් සතු අවසන් හයිඩ්‍රජන් ප්‍රමාණය න්‍යෂ්ටික විලයන ක්‍රියාවලියට භාජනය වීම ආරම්භ වද්දී ක්‍රම ක්‍රමයෙන් ප්‍රසාරණය වීමට හෙවත් විශාල වීමට පටන් ගනී. සාමාන්‍යයෙන් මෙවිට අදාළ තාරකාව අවම වශයෙන් පෙර පැවති ප්‍රමාණය මෙන් සියගුණයකින් පමණවත් විශාල වන අතර මෙය හැඳින්වෙන්නේ රතු යෝධ අවස්ථාව (red giants) ලෙසිනි. අනාගතයේ යම් දිනෙක අප සූර්යයා රතු යෝධයෙක් බවට පත්වුණු පසු බොහෝවිට එහි මතුපිට පෘෂ්ඨය තිබෙනු ඇත්තේ අද පෘථිවිය ඇති තැන ය. (ඒ වනවිටත් වෙනත් අනතුරකට ලක් වී නොතිබුණහොත් පෘථිවිය විනාශ වී යන්නේද එවිට යි.) න්‍යෂ්ටික විලයන ක්‍රියාවලිය අවසන් වීමෙන් අනතුරුව තාරකාව සිසිල් වෙමින් නැවතත් හැකිළීමට ලක් වන අතර තමන් සතුව පෙර තිබූ වට ප්‍රමාණයටත් වඩා කුඩා වෙමින් දීප්තිමත් සුදු වාමන තාරකාවක් (white dwarf star) බවට පත් වී තමන්ගේ පෙර පැවති පිටත පෘෂ්ඨයන්හි අවශේෂ කොටස් දුමාරයක් මෙන් පිටතට මුදාහරියි. ග්‍රහ නිහාරිකාවක් (planetary nebula) ලෙස හැඳින්වෙන මෙහි දුමාරයක් වැනි වළා කොටස් තවත් වසර දහස් ගණනකට පමණ පසු වියැකී යන අතර අවසානයේදී සුදු වාමන තාරකාව පමණක් ඉතිරි වේ.
![]() |
෴බළල් ඇස ග්‍රහ නිහාරිකාව෴ |
![]() |
෴සුදු වාමන තාරකාවක්෴ |
සූර්යයාට වඩා අඩු ස්කන්ධයකින් යුත් තාරකාවක පරිණාමනය
බොහෝවිට සූර්ය ස්කන්ධය මෙන් 0.5කටත් වඩා කුඩා ස්කන්ධයකින් යුතු මෙවැනි තාරකාවක මතුපිට පෘෂ්ඨයේ උෂ්ණත්වය කෙල්වින් 3,000 - 4,000 පමණ වන අතර ආයුකාලය ආසන්නව වර්ෂ ට්‍රිලියන නවයක් පමණ වේ.
මේ කුඩා තාරකාවල පරිණාමයේ අවසන් පියවර කිහිපය මෙතෙක් කිසිදු අයෙකු දැක නැත. ඊට හේතුව වන්නේ ඒවා සතු දීර්ඝ ආයුකාලය යි. ඔබ දන්නා පරිදි විශ්වයේ වයස දළ වශයෙන් වසර බිලියන 13.8කි. ට්‍රිලියනයක් යනු බිලියන දහසක් වේ. එබැවින් එතෙක් මෙතෙක් බිහිවූ කිසිදු කුඩා ප්‍රමාණයේ තාරකාවක් මේ වනතෙක් විනාශ වී නොමැත. නමුත් විද්‍යාඥයන් විසින් තාරකා පරිණාමනයේ මූලික සිද්ධාන්ත උපයෝගී කරගනිමින් මෙවැනි තාරකාවන්හි අවසානය පිළිබඳව පහත උපකල්පන ඉදිරිපත් කොට තිබේ.
- සූර්ය ස්කන්ධය මෙන් 0.1ක් පමණ වන අතිශය කුඩා තාරකා රතු වාමන තාරකා (red dwarf stars) ලෙස හැඳින්වේ. මේවාට තම න්‍යෂ්ටික විලයන ක්‍රියාවලිය අවසන් වීමේදී රතු යෝධ අවස්ථාවට පිවිසීමට තරම් ප්‍රමාණවත් ස්කන්ධයක් නොමැත. එනිසා ඒවා විලයනය අවසන් වීමෙන් පසු ඍජුවම සුදු වාමන තාරකා බවට පත් වේ.
- ඊට වඩා තරමක් විශාල තාරකා රතු යෝධ අවස්ථාවට පත් වන අතර ඉන්පසුව සංකෝචනය වෙමින් සුදු වාමන තාරකා බවට පත් වනු ඇත. (ග්‍රහ නිහාරිකාවක් බවට පත් නොවේ.)
අමතර කරුණු:
- තාරකා පෙළින් එහා... ලිපිය අවසානයේදී තාරකාවක් අයත් වන්නේ පදාර්ථයේ කුමන අවස්ථාවටදැයි පැනයක් අසන ලදී. ඝන, ද්‍රව හා වායු යන අවස්ථා තුනෙන් එකකටවත් තාරකා අයත් නොවේ. ඒවා පවතින්නේ ප්ලාස්මා නම් විශේෂ අවස්ථාවේ ය. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ තාරකාවක් තුළ ඇති පදාර්ථය නිරතුරුවම අයනීකරණයට ලක් වීමයි. වෙල්ඩින් දැල්ල, සූර්ය සුළඟ හා අකුණු අයත් වන්නේද ප්ලාස්මා අවස්ථාවට ය.
- නිහාරිකාවකින් නව තාරකා බිහිවීමේදී සාපේක්‍ෂව ඉතා කුඩා උදාසීන ගණයේ තාරකා විශේෂයක් ද බිහිවන අතර මේවා දුඹුරු වාමන තාරකා (brown dwarf stars) ලෙස හැඳින්වේ.
නෝවා පිපිරුම්, නිහාරිකා, කළු කුහර, නියුට්‍රෝන තාරකා, යෝධ තාරකා හා වාමන තාරකා පිළිබඳ ලිපි මීළඟට...
බෝම අගෙයි බං.. බෝම අගෙයි.. උඹ නියමෙට මේ ලිපි ටික ලියනවා.. සන්තෝසයි..
ReplyDeleteමෙන්න මම අද මුනුපොතේ ෂෙයා කරපු එකක්..
https://www.facebook.com/deshakaya/posts/398372963666966?comment_id=398374980333431
බොහොමත්ම ස්තූතියි දේශකයා..
Deleteෂහ් නියම වීඩියෝ එකක්. ඒක දැක්කම ‘අපි කවුරුද‘ කියල හිතෙනව නේ? මමත් ඩවුන්ලෝඩ් කරගත්තා.
ස්තුතියි! හැමදාම වගේ ඉතා රසවත්... විශ්වය කියන්නේ රහස් ගුහාවක්...
ReplyDeleteබොහොම ස්තූතියි මධුමාධවී.. ගුහා සංකීර්ණයක්... කවදාවත් අවසානයක් දකින්න බැරි වෙන්නත් පුළුවන්.
Deleteබොහොමත්ම ස්තූතියි.. නොදැන හිටිය දේවල් හුඟක් දැන ගත්තා..
ReplyDeleteබොහොම ස්තූතියි තුශානිටත්...
Deleteමරු... සරලයි.. ප්‍රයෝජනයි...
ReplyDeleteබොහොම ස්තූතියි...
Deleteමෙහෙම ඇතිවෙන කළුකුහර තුල තවත් විශ්වයක් බිහිවෙන බවටත් මතයක් තියනවා නේද
ReplyDeleteමං හිතන්නෙ මධ්‍යස්ථ මතධාරියා කියන්නෙ අර 4D කළු කුහර කතාව වෙන්න ඕන. එහෙම සංකල්පයක් තියෙනවා සිව්මාන කළු කුහරයක සිද්ධි ක්ෂිතිජයේ අපේ වගේ ත්‍රිමාණ විශ්වයක් බිහිවෙන්න පුළුවන් කියලා. ඉස්සරහට ඒ ගැන ලිපියක් දාන්නම්.
Deleteයේලා යේලා තවත් තරු කතාවක්.... කළු කුහර ගැන වැඩි විස්තරයක් කරන්ට බැයිද....
ReplyDelete2010 පොතේ කියන කළු ස්තම්භය වගේ කළු කුහරත් අභ්‍යන්තරය තරු වලින් පිරිල ද නැත්තං නිකංම කළුද...
(මොන මෝඩ ප්‍රශ්නයක්ද මංද)
කළු කුහර ගැනත් ඉක්මණින්ම ලිපියක් දානව මහේෂ් අයියෙ... මේකෙ තියෙන හැම ආකාශ වස්තුවක්ම වෙන වෙනම පැහැදිලි කරන්න ඕන.
Deleteමට හිතුණ විදිහට කළු ස්ථම්භය කළු කුහරයක් නෙමෙයි පණු කුහරයක්. මොකද බෝමන් එක තැනකින් ඇතුළට ගිහින් තව තැනකින්නෙ මතුවෙන්නේ. (පණු කුහර ගැනත් ඉස්සරහට.) දැනට තියෙන විද්‍යා දැනුම අනුව නම් කළු කුහරයක් ඇතුළේ කිසිම දෙයක් පවතින්න ඉඩක් නෑ.. ඒව ගැන ඉක්මණටම ලිපියක් දාන්නම්.
(මේවට මෝඩ ප්‍රශ්න කිව්වොත් ඇත්තම මෝඩ ප්‍රශ්නවලට කියන්න දෙයක් නැති වෙනව.)
හොඳ ලිපියක්. "The physics of Stars" - A C Phillips හොන්ඩ අපොතක් තාරකා ගැන. H-R ඩයග්‍රම් හෙම සර වැඩිද ලියන්න? මගේ ටලස්කොප කතාවත් නැවතුන. වහාම පටන් ගන්න ඕනේ.
ReplyDeleteබොහොම ස්තූතියි අජිත් මහත්මයා. පොත ගැන දැනුම් දුන්නටත් ස්තූතියි කොහොමහරි හොයාගෙන කියවන්න ඕන. H - R diagram නම් ඒ තරම් සංකීර්ණ නෑ නේද? ගොඩදෙනෙක්ට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි මං හිතන්නේ.. ටෙලස්කෝප් කතාව දානකම් තමයි මාත් බලන් ඉන්නේ.. ඒ ලිපිපෙළේ ඉගෙනගන්න පුළුවන් දේවල් බොහොමයි.
Deletehttp://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15998-2015-03-01-21-16-37 දැනුයි දැක්කේ වැරදි ටික. හොඳ පොතක් තාරකා ගැන. H-R ඩයග්‍රම් හෙම සැර වැඩිද ලියන්න? මගේ දුරදක්න කතාවත් නැවතුනා. වහාම පටන් ගන්න ඕනේ.
ReplyDeleteවැරදි කිව්වේ මගේ ලිපියෙ වැරැද්දක් ද? මේ දිරිමත් කිරීමට අජිත් මහත්මයාටත්, ලංකා නිව්ස්වෙබ් එකටත් බොහොමත්ම ස්තූතියි..
Deleteනැහැ මගේ කොමෙන්ට් එකේ වැරදි. අපේ බ්ලොග් සම්මාන උලෙලෙලට නොවරදවාම එන්න. 26 වනදා.
Deleteසතියෙ දවසක් නේද. මම උපරිම උත්සාහ කරනවා එන්න. ලංකාවෙ ඩිග්‍රී වලටත් පැමිණීම 80% බලන එකයි ප්‍රශ්නේ.. :D
Deleteඔව් ඒකත් ඇත්ත. ඒත් ලංකාවේ අය කියන්නේ සතියේ දවසක් හොඳයි කියල.
Deleteමමත් කොහොමහරි එන්න බලන්නම්...
DeleteTnx bro... Good job..
ReplyDeleteThank you. :)
Delete