Tuesday, November 18, 2014

ඔබ අහසේ දකින්නේ වර්තමානය නොවේ!

අහස දෙස බලන්න. දහවල් කාලයේදී නම් ඔබ සූර්යයා දකිනු ඇත. රාත්‍රී කාලයේ නම් චන්ද්‍රයා සහ තාරකා දකිනු ඇත. ඔබත්, මමත් එලෙස පියවි ඇසින් ආකාශ වස්තූන් නරඹන අතරතුරේ විද්‍යාඥයන් අති ප්‍රබල දුරේක්ෂ ආධාරයෙන් ඒවා නිරීක්‍ෂණය කරනු ඇත. එහෙත්... ඔවුනුත්, අපත් බලා සිටින්නේ ඒ ඒ ආකාශ වස්තූන්හි වර්තමානය දෙස නොව අතීතය දෙස බව ඔබට කෙදිනකවත් සිතුණාද?



වර්තමාන විද්‍යා දැනුම අනුව, ගමන් කිරීමේදී උපරිම වේගයක් අත්පත් කරගත හැක්කේ විද්‍යුත් චුම්බක තරංග වලටය. එය 3 x 10⁸ msˉ¹ හෙවත් තත්පරයට කිලෝමීටර ලක්ෂ 3ක වේගයකි. වෙනත්  කිසිදු වස්තුවකට/ අංශුවකට/ තරංගයකට මෙම වේගය ඉක්මවා ගමන් කළ නොහැක. (99.9%කට පමණම එම වේගයට ආසන්න වීමටවත් නොහැක.) දෘශ්‍ය ආලෝකයද විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියට අයත් බැවිනුත්, විද්‍යුත් චුම්බක තරංග අතරින් මිනිසාට හුරුපුරුදුම තරංග වර්ගය දෘශ්‍ය ආලෝකය වන බැවිනුත් මෙම වේගය 'ආලෝකයේ වේගය' ලෙස හැඳින්වෙයි. අප විසින් අවට පරිසරය දකිනු ලබන්නේ ඒ ඒ වස්තූන්ගෙන් නික්මෙන හෝ පරාවර්තනය වන ආලෝක කිරණ මෙලෙස ආලෝකයේ වේගයෙන් ගමන් කොට ඇස මත පතිත වීමෙනි.


විශ්වය තුළ ආකාශ වස්තු පැතිර පවතින්නේ අති විශාල පරතරයකින් යුක්තව බව අසිරිමත් විශ්වය ලිපියේදී සඳහන් කරන ලදී. උදාහරණ ගතහොත් පෘථිවියට ආසන්නතම ආකාශ වස්තුව වන චන්ද්‍රයා පිහිටා ඇත්තේ කිලෝමීටර 384,400ක දුරිනි. ආසන්නතම ග්‍රහලෝකය වන අඟහරු පිහිටා ඇත්තේ සාමාන්‍ය වශයෙන් කිලෝමීටර මිලියන 56ක දුරිනි (ග්‍රහලෝක 2හි කක්ෂ ගමන් මාර්ගයන් නිසා විටින්විට පරතරය වෙනස් වේ. උපරිම පරතරය - කිලෝමීටර මිලියන 401). සූර්යයා පිහිටා ඇත්තේ කිලෝමීටර මිලියන 150ක දුරිනි. සූර්යයා හැරුණු විට ආසන්නතම තාරකාව වන ප්‍රොක්සිමා සෙන්ටෝරි පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ 4.3ක දුරිනි. තාරකා හා අභ්‍යවකාශ විද්‍යාවේදී බොහෝවිට ආලෝක වර්ෂ, පාසෙක් වැනි විශේෂ ඒකක පද්ධතියකින් දුර මනිනු මිස කිලෝමීටර වලින් හෝ සැතපුම් වලින් දුර නොමනින්නේ මේ නිසා ය.

සූර්යයා දෙසට හැරෙමු. පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර ප්‍රමාණය වන කිලෝමීටර මිලියන 150 , ආලෝක මිනිත්තු 8යි තත්පර 20කට සමාන වේ. එනම් පෘථිවිය සහ සූර්යයා අතර ගමන් කිරීමට ආලෝක කිරණයකට ගත වන කාලය ආසන්නව මිනිත්තු 8කි. මේ මොහොතේ පොළොවට වැටෙන හිරු එළිය සැබැවින්ම සූර්යයාගෙන් නික්මී ඇත්තේ මීට මිනිත්තු 8කට පෙර ය. ලිපියේ මාතෘකාවෙහි අදහස දැන් ඔබට වැටහේ යයි සිතමි. දැන් ඔබ අහසේ සූර්යයා දකින්නේ නම් ඒ දකින්නේ මීට මිනිත්තු 8කට පෙර පැවති සූර්යයා මිස වර්තමාන සූර්යයා නොවේ. ඔබට වර්තමාන සූර්යයා දක්නට ලැබෙන්නේ තවත් මිනිත්තු 8කට පසු ය.

(වැදගත්: අඳුරු කණ්නාඩි හෝ එවැනි ආරක්ෂක උපක්‍රමයක් නොමැතිව නිරුවත් දෑසින් හිරු දෙස බැලීම අතිශය අනතුරුදායක වේ.)

තවත් පැහැදිලි කිරීම් අවශ්‍ය නැත. රාත්‍රී අහස නරඹන ඔබ දකින්නේ පෘථිවියට ආසන්නයෙන්ම පිහිටි ප්‍රොක්සිමා සෙන්ටෝරි තාරකාව මීට වසර 4.3කට පමණ පෙර පැවති අයුරුයි. පෘථිවියට ආසන්නයෙන්ම පිහිටි ග්‍රහ නිහාරිකාව වන හේලීක්ස් මීට වසර 400කට පමණ පෙර පැවති අයුරුයි. පෘථිවියට ආලෝක වර්ෂ සිය ගණනක්, දහස් ගණනක් ඈතින් පිහිටි සමහර දීප්තිමත් ආකාශ වස්තූන්ද පියවි ඇසට දර්ශනය වේ. ආලෝක වර්ෂ මිලියන ගණනක්, බිලියන ගණනක් ඈතින් පිහිටි ආකාශ වස්තූන්ද අති ප්‍රබල දුරේක්ෂ වලට හසු වේ. අද අප මෙලෙස දකින සමහර ආකාශ වස්තු සැබැවින්ම මේ ආකාරයෙන් පැවති කාලයේ මිනිසා හෝ පෘථිවිය බිහි වී තිබීවත් නැත. එමෙන්ම අද අප දකින ආකාශ වස්තු වලින් සමහරක් වර්තමානයේ මේ අයුරින්ම දක්නටද නැත. සමහර ආකාශ වස්තූන් මිය ගොසිනි. යම් යම් හේතූන් නිසා විනාශ වී ගොසිනි. එහෙත් ඒ සියල්ල අපට දර්ශනය වනු ඇත්තේ ඉදිරි අනාගතයේදී ය.

අනෙක් අතට සලකා බැලුවහොත්, පෘථිවියෙන් ආලෝක වර්ෂ මිලියනයක් පමණ ඈතින් සිටින යම් ජීව කොට්ඨාශයකට යම් ආකාරයකින් පෘථිවිය හොඳින් දැකිය හැකි නම්, ඔවුන් මේ මොහොතේ හෝමෝ ඉරෙක්ටස් මානවයන් කණ්ඩායමක් ගිනිමැලයක් අසල වාඩි වී සිටින අයුරු දකිනු ඇත. ආලෝක වර්ෂ මිලියන 65ක් හෝ ඊටත් ඈතින් ඉන්නා අයෙකු ටයිරනෝසෝරස් රෙක්ස් ඩයිනෝසරයෙකු විශාල එඩ්මන්ටොසෝරසයෙකු දඩයම් කරමින් සිටින අයුරු දකිනු ඇත. ඒ ඒ යුගයන්හිදී පෘථිවියෙන් නික්මුණු ආලෝක කිරණයන් අදාළ ජීව කොට්ඨාශයන් පසු කර යමින් තිබෙනවා ඇත්තේ මේ මොහොතේදී ය.

මෙම සංසිද්ධියේ තවත් පැතිකඩක්ද තිබේ. එය තරමක් සංකීර්ණ ය. ලිපිය ලිවීමේදී හැකිතාක් සරල කිරීමට උත්සාහ කර ඇත.

"එහෙනම් අපි කොහොමද මේ ආලෝක වර්ෂ බිලියන 20ක් විතර ඈතින් තියෙන ආකාශ වස්තු දකින්නෙ? ඔය කියන විදිහට බැලුවොත් ඒ ආකාශ වස්තුවලින් නිකුත් වුණ ආලෝක කිරණ පෘථිවියට එන්න අවුරුදු බිලියන 20ක් ගතවෙලා තියෙන්න එපැයි. කොහොමද එහෙම වෙන්නෙ?  විශ්වය බිහි වෙලා තියෙන්නෙත් අවුරුදු බිලියන 13.8කට කලින්නෙ."

ඔබෙන් බොහෝ දෙනෙකුට දැන් හෝ පසුව හෝ මෙම ගැටළුව ඇති වන බවට සැකයක් නැත. ඉහත ඡේදයන්හි බොහෝ ස්ථාන වලදී  මා 'පමණ' යන වචනය භාවිතා කළ බව ඔබ දකින්නට ඇත. ස්ථිතික විශ්වයක් හෙවත් කිසිදු දිනක කිසිදු වෙනසක් සිදු නොවන විශ්වයක් නම් 'පමණ' යන අවිනිශ්චිත වදන අවශ්‍ය නොවේ. එනම් එවිට යම් ආකාශ වස්තුවකට පෘථිවියේ සිට ඇති දුර ආලෝක වර්ෂ බිලියන 10ක් නම්, අප අද දකිනු ඇත්තේ එම ආකාශ වස්තුවෙන් නියත වශයෙන්ම වසර බිලියන 10කට පෙර නිකුත් වූ ආලෝකය යි. එහෙත් තර්කය ගොඩනැගෙන්නේ එතැනදී ය. ස්ථිතික විශ්වයක් කියා දෙයක් නොමැත. මා මෙය ලියද්දීත්, ඔබ මෙය කියවද්දීත් විශ්වය ශීඝ්‍රයෙන් ප්‍රසාරණය වෙමින් පවතී. වෙනත් ආකාරයකින් පැවසුවහොත්, ඒ ඒ ආකාශ වස්තූන් හා පෘථිවිය අතර පරතරය ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතී. (විශ්වයේ උපත: මහා පිපිරුම් වාදය බලන්න.) තාරකා විද්‍යාත්මක නියමයන්ට අනුව මෙම පරතරය වැඩි වීමේ නොහොත් විශ්වය ප්‍රසාරණය වීමේ වේගය මනිනු ලබන්නේ සාමාන්‍යයෙන් නිරපේක්‍ෂ හා සාපේක්‍ෂ වේගය මනින තත්පරයට මීටර (msˉ¹) ඒකකයෙන් නොව, පෘථිවියේ සිට විශ්වයේ ඒ ඒ ප්‍රදේශයන්ට ඇති දුර මත රඳා පවතින තත්පරයට මීටරයට මීටර (msˉ¹mˉ¹) යන ඒකකයෙනි. (ප්‍රායෝගිකව භාවිතයට ගැනෙන්නේ තත්පරයට මෙගාපාසෙක් එකකට මීටර/ msˉ¹Mpcˉ¹ වැනි විශාල අගයන් ය.) උදාහරණයක් ලෙස 100msˉ¹Mpcˉ¹ ගතහොත්, මින් අදහස් වන්නේ පෘථිවියේ සිට මෙගාපාසෙක් 1ක් ඈතින් ඇති ආකාශ වස්තුවක් 100msˉ¹ වේගයෙන් පෘථිවියෙන් ඈත් වන බවයි. එවිට මෙගාපාසෙක් 2ක් ඈතින් ඇති ආකාශ වස්තුවක් ඈත් වන්නේ 100 x 2 = 200msˉ¹ වේගයකිනි. පෘථිවියේ සිට යම් ආකාශ වස්තුවකට ඇති දුර වැඩි වන විට එම ආකාශ වස්තුව පෘථිවියෙන් ඈත් වන වේගයද වැඩි වන බව ඔබට දැන් වැටහෙනවා ඇත. මෙලෙසින් පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන ගණන් වැනි අතිවිශාල දුරකින් පිහිටි ආකාශ වස්තු සැලකුවහොත්, එක්තරා දුර සීමාවකින් එපිට තිබෙන වස්තූන් ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයකින් පෘථිවියෙන් ඈත් වෙමින් පවතී!

බොහෝදෙනෙකු මංමුළා වන්නේ මෙතැනදී ය.

අප දන්නා භෞතික විද්‍යාවට අනුව කිසිදු වස්තුවකට, අංශුවකට හෝ තරංගයකට ආලෝකයේ වේගය ඉක්මවා ගමන් කළ නොහැකි බව ඉහත සඳහන් කරන ලදී. එසේ නම් විශ්වය ප්‍රසාරණය වීමේ/ ආකාශ වස්තූන් එකිනෙකින් ඈත් වීමේ වේගය ආලෝකයේ වේගය ඉක්මවා යන්නේ කෙසේද? ගැටළුව ඇත්තේ භෞතික විද්‍යාවේ නොව 'ගමන් කිරීම' සහ 'ඈත් වීම' යන යෙදුම් දෙක අතර ය.

සරල උදාහරණයක් ගනිමු.
ඔබ සහ ඔබේ මිතුරෙක් පිම්බෙමින් හෙවත් ප්‍රසාරණය වෙමින් ඇති විශාල බැලුමක් ඇතුළත නිශ්චලව සිටගෙන සිටින්නේ යැයි සිතන්න. බැලුම පිම්බෙද්දී ඔබත්, මිතුරාත් අතර පරතරය වැඩි වන බව ඔබ දනී. මෙලෙස බැලුම පිම්බෙන විට මිතුරා 10msˉ¹ වේගයෙන් ඔබෙන්  ඈතට ඇදී යන අයුරු ඔබට දර්ශනය වේ. එහෙත් ඉන් අදහස් වන්නේ මිතුරා 10msˉ¹ වේගයෙන් ඔබෙන් ඉවතට ගමන් කරන බවද? නැත. ඔබත්, මිතුරාත් දෙදෙනාම සිටින්නේ සිටගෙන ය. දෙදෙනා අතර පරතරය වැඩි වන්නේ ඇවිදීමක් හෝ දිවීමක් නිසා නොව බැලුම ප්‍රසාරණය වන නිසාවෙනි.


කිසිදු වස්තුවකට ආලෝකයේ වේගය ඉක්මවා ගමන් කළ නොහැකි බව සත්‍යයකි (වර්තමාන විද්‍යා දැනුම අනුව). එහෙත් විශ්වය ප්‍රසාරණය වීම යනු ගමන් කිරීමක් නොවේ. ඊට දුර මතද රඳා පවතිමින් ආලෝකයේ වේගය ඉක්මවා යාමට බාධාවක් නැත.

ආලෝක වර්ෂ බිලියන 20ක් ඈතින් පිහිටි තාරකාවක් වුවද අප අද දකින්නේ මේ නිසා ය. අද අප වෙත ආ ආලෝක කිරණය තාරකාවෙන් නිකුත් වෙද්දී එය පිහිටන්නට ඇත්තේ පෘථිවියට මීට වඩා බොහෝ ආසන්නයෙනි.එනම් ආලෝක වර්ෂ බිලියන 13.8 සීමාවට ඇතුළිනි (ආලෝක වර්ෂ බිලියන 13.8 සීමාවට එපිටින් තිබුණා නම් එම ආලෝක කිරණ තවම පෘථිවියට පැමිණ නැත. අප තාරකාව දකින්නේ අනාගතයේදී ය.). එමනිසා ආලෝකය වසර බිලියන 20ක් තිස්සේ ගමන් කිරීමක් සිදු වී නැත.

අද වන විට ආලෝක වර්ෂ බිලියන 20ක් ඈතින් පිහිටි තාරකාවකින් ආලෝක කිරණයක් නිකුත් වෙද්දී තාරකාව පිහිටියේ ආලෝක වර්ෂ 10ක් ඈතින් යැයි සිතමු. ඉන් අදහස් වන්නේ ආලෝක කිරණය ගමන් කළ සැබෑ දුර ආලෝක වර්ෂ 10ක් බවද? එයද නිවැරදි නැත. ආලෝක කිරණය අප වෙත පැමිණියේද විශ්වය හරහා ය. එය පැමිණි මාර්ගයද ප්‍රසාරණය වන්නට ඇත. එනම් ආලෝක කිරණය ආලෝක වර්ෂ බිලියන 10කට වඩා දුරක් ගමන් කොට ඇත. එබැවින් එය ගමන් කළ සැබෑ දුර වන්නේ ආලෝක වර්ෂ බිලියන 20ත්, ආලෝක වර්ෂ බිලියන 10ත් අතර යම් දුර ප්‍රමාණයකි.  

විශ්වයේ අරුමය මෙය යි.....

  • අමතර කරුණු: මෙගාපාසෙක් 1 = පාසෙක් 1 x 10⁶ = ආලෝක වර්ෂ 3.3 x 10⁶

ඔබට අවශ්‍ය නම්, මෙම සංසිද්ධියට අදාළ ප්‍රයෝජනවත් සබැඳි (Links) කිහිපයක් පහත දැක්වේ.      


57 comments:

  1. හම්මේ ඒකත් එහෙමද...
    සමහර විට මචෝ පෘථිවිය ඇති වෙන්නත් කලිං ඉදල එන තාරුකා එළි ඇති නේද...
    ඒ කියන්නෙ පෘථිවිය ඇති වුනේ නසර බිලියන 13ග8 කට එහා නෙව ඉතිං ඊට කලිං ඉදන් නිකුත් වෙන එළියක් මේ වෙද්දි ඒ කියන්නෙ ආලෝක වර්ෂ බිලියන 15කට එහි නිකුත් වුණ එළියක් සමාරවිට ඉස්සරහට අපිට දර්ශනය වෙන්න පුලුවන් නේහ

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීමක්.. පෘථිවියේ වයස අවුරුදු බිලියන 4.5ක් විතර වගේ වෙන්නේ. විශ්වය තමයි අවුරුදු බිලියන 13.8ක් වයස. :)

      හැබැයි මහේෂ් අයියා කියපු දේ හරි. පෘථිවියට හුඟක් ඈතින් තියෙන සමහර ආකාශ වස්තුවලින් නිකුත් වුණ පළවෙනිම ආලෝක කිරණයවත් තාම පෘථිවියට ඇවිත් නෑ. ඒවා තාමත් මග. අදටත් අහසේ බිහිවෙමින් තියෙන අළුත්ම තරුවක් කියල පේන්නේ ඇත්තටම අවුරුදු බිලියන ගාණකට කලින් විශ්වයේ මුලින්ම ඇතිවුණ තරුවක් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර ආකාශ වස්තු කිසිම දවසක මිනිසාට පේන්නෙ නෑ. ඒවගෙන් නිකුත් වුණ ආලෝක කිරණ මෙහෙට එන දවස වෙනකොට මෙහෙ මිනිසා කියල කෙනෙක් නෑ. එක්කෝ සූර්යයාගේ ආයුකාලය ඉවර වෙලා සෞරග්‍රහමණ්ඩලයම විනාශ වෙලා හෝ විසිරිලා ගිහින් නැත්නම් වෙන හේතුවක් නිසා පෘථිවිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහින්..

      Delete
  2. මේක බරපතල වැඩියි බං. කොටස් දෙකකට දැම්මනං හරි.. මැට්රික්ස් පිලුම් එක බලල ඔය අවකාශය ගැන මම සෑහෙන්න කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. ඔව් දේශකයා, දිග වැඩි වුණා ටිකක්.. කොටස් 2කට කඩන්නත් හිතලා එතකොට අරකෙ දෙවෙනි කොටස තව පහු වෙන නිසා මෙහෙමම දැම්මේ. අනික මේක හරි සංකීර්ණ කතාවක්.. :/

      මම තාම බලනව මැට්‍රික්ස් ෆිල්ම්ස්.. :D හරි ලස්සන අදහස් තියෙනව සමාන්තර ලෝක අරව මේව ගැන.. තව ස්ටාර් ට්‍රෙක්, ස්ටාර් වෝර්ස් සීරීස් 2ත් ඕව හරියට තියෙනවා.

      Delete
    2. මේවා පැහැදිලිව දුන්න තරමටයි ආසාව වැඩි වෙන්නේ. මං මේක ආසම සබ්ජෙක්ට් එකක් නිසා අවුලක් නෑ. ඒත් කැමති නැති කෙනෙක් ටිකක් වාත වෙනවා නේද?

      Delete
    3. ඇත්ත. පැහැදිලිවම එකඟයි. ඊළඟ ලිපියෙ ඉඳන් ආපහු කලින් වගේ පුළුවන් තරම් කෙටි කරන්නම් කොටස් වලට කඩලා. ස්තූතියි දේශකයා අදහසට.. :)

      Delete
    4. parallel universe/worlds වලට කැමතියි.
      ඊට වඩා alternative history ඒවට ( Planet of the Apes type) කැමතියි

      Delete
    5. alternative history genre එකේ Godzilla සහ Final Countdown තමයි මගේ කැමතිම.. :)

      Delete
    6. mr. nobody චිත්‍රපටිය බලන්න

      Delete
    7. ෆිල්ම් එක ගැන අහල තියෙනව ඒත් බලල නෑ. ටොරන්ට් එකක් හොයාගන්න ඕන.

      Delete
    8. baiscopelk.com වලින් ගන්න පුලුවන්

      Delete
    9. ජගත් අශාන් ගේ එකට දැම්ම මේ ලින්ක් එකට බොහොම ස්තුතියි. චිත්‍රපට ගොඩක් තියෙනව.

      Delete
    10. මාත් ඩවුන්ලෝඩ් කරන ගමන්. :D

      Delete
  3. පැහැදිලි කිරීම ඉස්තරම්! තව රූප සටහන් යොදාගන්න බලන්න. එවිට යම් යම් අවුල් සහගත තැනුත් මැකී යාවී. මේ පසුබිමත් විසිතුරුයි. ඔබේ ලිපිය කියවන්නේත් අහසේ තරු ගනිනවා වගේ තමා :ඩී

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මධුමාධවී. ඔව් රූපසටහන් වැඩිපුර යොදාගන්න එක තමයි හොඳම වැඩේ. මේ සිද්ධියට අදාළව, ලිපියටත් ගැළපෙන රූප හොයාගන්න බැරි වුණා එකක් මම හදලයි දැම්මෙත්. :/ තව දෙකතුනක් හදලා හරි දාන්න තිබුණා තමයි. ඊළඟ ලිපියෙ ඉඳන් රූපසටහන් වැඩිපුර දාන්නම්.
      කියවන්න ආස හිතෙන විදිහට පසුබිමත් තියෙනවා නම් මගේ වැඩේ සාර්ථකයි.. :D

      Delete
  4. ඉතාමත්ම අගනා බ්ලොගයක්. අදයි ඇස ගැටුනේ. මුල ඉඳන්ම කියවන්න ඕන. සරළ පැහැදිළි කිරීමත්, භාෂා විලාසයත් නිසා කියවීමේ රුචිය වැඩිවෙනවා.බොහොම ස්තූතියි මේ ව්‍යායාමයට!

    (පසුබිමේ රූප මාරුවීම, කියවීමට ටිකක් බාධා කරනවා. නොවෙනස්වන රූපයක් හෝ තනි වර්ණයක් යොදන්න පුළුවන්නම් අගෙයි!)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ඔබට.. :)

      ස්තූතියි දැනුවත් කිරීමට.. රූප මාරු වීම ඉවත් කරනවාද නැද්ද කියලා හිත හිතයි හිටියේ මොකද ඒක නිසා බ්ලොග් අඩවියේ loading time එකත් ටිකක් වැඩි වෙලා තියෙන්නේ. අද හෝ හෙට ඉවත් කරන්නම්. :)

      Delete
    2. ඇනිමේට් වෙන රූප බැනර් එකට දාලා පසුබිම තනි පාටක තිබ්බොත් හොඳයි නේද? ඒත් එහෙම කියන්නත් ලෝබයි, මේ වගේ ඇනීමේට් වෙන පසුබිම් තියෙන බ්ලොග් අඩු නිසා.

      Delete
    3. ඔන්න දැන් ඉඳන් තනි රූපයක් දාලා තියෙන්නේ. ස්ලයිඩ්ෂෝ එකට මමත් කැමතියි ඒත් ඒකෙ අවාසිත් තියෙනවා. සමහර ප්ලගින්ස් එක්ක ඒක වැඩ කරන්නෙ නෑ. දැන් යන්තම් ඒක අයින් කරල ෂෙයාර් බට්න්ස් ටිකක් ඉන්ස්ටෝල් කරගත්තා.

      අනික මීට කලිනුත් කෙනෙක් කිව්වා ටිකක් කියවන්න අපහසුයි කියලා. තව කවුරුහරිත් කිව්වොත් අයින් කරනව කියලා හිතන් හිටියේ. :)

      Delete
  5. මේකේ විශ්වය ප්‍රසාරණය වෙන කෑල්ලත් එක්ක බ්ලොග් ලිපියක් ලියාගෙන ආව (බැලුම් කතාවත් එක්ක ) . ඔබ එය හොඳට ඉදිරිපත් කරලා තිබෙනවා. මගේ එක වෙනස් කරනන් ඕනේ. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. :)

      ඔබ ලියපු ලිපිය වෙනස් නොකළට ගැටළුවක් නෑ මම නම් හිතන්නේ.. ලියන ශෛලීන් දෙක වෙනස් නිසා කැමති කෙනෙක්ට තමන් කැමති ලිපිය තෝරගන්න පුළුවන් නේ. :)

      Delete
    2. නැහැ මම ඔයාගේ එකට ලින්ක් එකක් දාල තියෙනවා මගේ බ්ලොග් එකේ. නැවත ලියනවට වඩා ඔයාගේ එකට එනවට මම කැමතියි. එතකොට මට වෙන මාතෘකාවකට යන් පුළුවන්. කොච්චර ගොඩක් තිබෙනවද. මැකේ ලංකානිව්ස්වෙබ් එකට යවන්නද?

      Delete
    3. // එතකොට මට වෙන මාතෘකාවකට යන් පුළුවන්. කොච්චර ගොඩක් තිබෙනවද. //
      එහෙම නම් කමක් නැහැ. :)

      // ලංකානිව්ස්වෙබ් එකට යවන්නද? //
      ප්‍රශ්නයක් නැහැ අජිත් මහත්මයා කැමති නම් යවන්න. :) මං උපුටාගැනීමකදී මගේ බ්ලොග් එකට link එකක් බලාපොරොත්තු වෙනවා ලිපියක් ලියන්න මහන්සියක් දරන්න වෙන හින්දා. ලංකා නිව්ස් එකේ අවුලක් නෑ එයාල හැම ලිපියකම මූලාශ්‍රය දානවනේ.

      Delete
    4. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/14501-2014-11-19-14-40-53

      Delete
    5. බොහොම ස්තූතියි...! :)

      Delete
    6. අශාන්.....අජිත් ලොක්කාත් එක්ක එකතුවෙලා හොඳ ගේමක් දෙන්න. මට නම් මේවා මැජික් වගේ. ඒත් බලන්න තව කොච්චර අය ආසාවෙන් කියවනවාද කියලා. මම දන්නා තරමින් අජිත්ට මේ විෂය ගැන උනන්දුවක් තියෙනවා.

      Delete
    7. බොහොමත්ම ස්තූතියි අරූ අයියෙ. ඒ වගේම මම තාමත් මතක් කරනවා, අරූ අයිය තමයි මේ බ්ලොග් එකේ පළවෙනි කමෙන්ට් එකේ අයිතිකාරයා. ස්තූතියි ‍‍දිරිමත් කිරීම් වලට. අනිවාර්යයෙන්ම දිගටම කරගෙන යනවා. :)

      ඔව්, ඒ වගේම විෂයය ගැන මට වඩා ඉහළ දැනුමක් තියෙන කෙනෙක්. :)

      Delete
  6. මේ පාර ලිපිය රසවත් ...කියවන්න ආස හිතුන. මේ කරුණු මම කලින් අහල තිබුනෙ නෑ .උදාහරණ එක්ක පැහැදිලි කලාම කියවන්නත් ආසයි තේරුම් ගන්නත් ලේසි :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හංසි... :)

      උදාහරණ නැතුව මේ සංසිද්ධිය තේරුම් ගන්න හරිම අමාරුයි. ලිපිය දානකම්ම මං හිතුවේ කතාව සංකීර්ණ වුණාවත්ද කියලා. මොකද මම සාමාන්‍යයෙන් ලියන ලිපිවලට වඩා මේකෙ දිග ටිකක් වැඩි වුණත් එක්ක. එහෙම ප්‍රශ්නයක් නැත්නම් සතුටුයි... :)

      Delete
  7. එහෙනම් අපි අද අහස දිහා බලාගෙන ඉන්නේ අතීතය දකින්නද.. ලිපියේ කරුණු නම් සෑහෙන්න වටිනවා..

    ReplyDelete
    Replies
    1. එක අතකින් බලද්දී තාරකා විද්‍යාව කියන්නෙ "සජීවී පුරාවිද්‍යාවක්".

      බොහොම ස්තූතියි දිනේෂ් අයියෙ..! :)

      Delete
  8. අපරිමාන අම්බරේ.........
    දිලනෙ තරු තතරං
    ..

    ඉස්තරං මචෙට්ා් ..
    මටනං පේන්නමෛ් ක කැරකනෙවා වගේ...

    හටෙ කයිවන්නං දැං..බුර්හ්හ්..

    ජ ය කේ!!

    ReplyDelete
    Replies
    1. මේක නම් හොඳ සිහියෙන් ලියපු එකක් නෙමෙයි වගේ. :D සෙල්ලිපියක්ද මන්දා.. :D

      බොහොම ස්තූතියි විදානේ.. :)

      Delete
  9. අපි ජීවත්වන ත්‍රිමාණ විශ්වය සිව්මාන කළුකුහරයක පෘෂ්ඨයක් කියා කතාවක් අසා තියෙනවා මෙගැන මොනවත් දන්නවද

    ReplyDelete
    Replies
    1. එහෙම අදහසක් තියෙනව නේද... මට ඒ මතය ගැන පරතෙරටම ගියපු දැනුමක් නම් නැහැ, මම දැනුවත් විදිහට ඒකෙ කියවෙන්නෙ මෙහෙම දෙයක්.

      මේක මහා පිපිරුම් වාදයට ඉදිරිපත් කරපු විකල්ප පැහැදිලි කිරීමක්. අපි මේ ජීවත් වෙන ත්‍රිමාණ විශ්වය ඇත්තටම සිව්මාන ආකාශ වස්තුවකින් ප්‍රක්ෂේපණය වෙන මිරිඟුවක් (mirage) කියලයි මේ මතයෙන් කියන්නේ. ආරම්භයේදී මේ කියන ආකාශ වස්තුව සිව්මාන විශ්වයක තියෙන විනාශ වෙමින් ඇති සිව්මාන තාරකාවක්. පස්සේ ඒ තරුව මියගිහින් සිව්මාන කළු කුහරයක් බවට පත් වෙලා. Big bang කියන්නේ ඒ තරුව බිඳ වැටුණ අවස්ථාව වෙන්න පුළුවන් ලු. මේ කළු කුහරයේ සිද්ධි ක්ෂිතිජය (event horizon) තුළ අපි ඉන්න ත්‍රිමාණ විශ්වය පිහිටලා/දැවටිලා (wrapped) තියෙනවා කියල එයාල තර්ක කරනවා. මොකද ත්‍රිමාණ කළු කුහරයක සිද්ධි ක්ෂිතිජය ද්විමාන නම් සිව්මාන කළු කුහරයක සිද්ධි ක්ෂිතිජය ත්‍රිමාණ විය යුතුයි. මේ මතවාදය මහා පිපිරුම් වාදයට වඩා ගණිතමය වශයෙන් නිවැරදියි කියලත් කියනවා. හැබැයි ඉතින් සිව්මාන කළු කුහරයක් කියන්නෙ කොයිවගේ දෙයක්ද කියල නම් කවුරුත් දන්නෙ නැහැ.

      මේක මතක් කළාට ස්තූතියි මම ඉස්සරහට ලිපියක් දාන්නම්.

      Delete
    2. මන් හිතන්නේ එක ගණිතමය වශයෙන් නිවැරදි නැහැ කියල. මම මහා පිපිරුම් වාදය මොඩලයට තිබෙන සාධක තමා ලියාගෙන යන්නේ.

      Delete
    3. එහෙමද.. ඔය මතය ගැන මගේ දැනුම සීමිතයි, තව හොයල බලන්න ඕන. මට මතක විදිහට ඔය ගණිතමයව නිවැරදි කතාව කිව්වෙත් ඕක ඉදිරිපත් කරපු දෙතුන්දෙනාම තමා. කොහොමත් මේක ආකර්ෂණීය මතවාදයක් වුණාට මහා පිපිරුම් වාදයට තරම් පිළිගැනීමක් නැහැ නේද.. සංකල්පයක් පමණයි.

      Delete
  10. අගනා ලිපියක් අශාන්. මේක විතරක් නෙවෙයි අනෙක් ලිපිත් එහෙම තමයි.

    මට හිතෙන දෙයක් කියන්නම්. මේ වගේ වටිනා දේ ලියවෙන අඩවි වල පෙනුම සරල වෙන තරමට හොඳයි කියලයි මගෙ අදහස. වෛවර්ණ සැරසිලි අඩවියට අලංකාරයක් තමයි. නමුත් එය කියවන්නාගේ ඇස් වෙහෙසවන සුළුයි. කෙනෙක් යම් අඩවියකට යන්නේ එහි තියන දෙයක් කියවන්න නෙ. එතකොට ප්‍රධාන වෙන්නෙ ලියල තියන දේ.

    අදහසක් පමණයි.

    ReplyDelete
    Replies
    1. අශාන්....බ්ලොග් එක ඇතුලේ ඉන්නකොට ක්‍රිස්මස් එකට ඔක්ස්ෆර්ඩ් ස්ට්‍රීට් ගියා වගේ :

      Delete
    2. බොහොම ස්තූතියි චන්දන අයියේ.

      අදහසටත් බොහොම ස්තූතියි. බ්ලොග් එක කියවන අයගෙ අදහස් ගොඩක් වැදගත්. ටිකක් ආකර්ෂණීය විදිහට හදල තියෙන්නේ විද්‍යාව ගැන දැනුමක්, උනන්දුවක් නැති අයවත් බ්ලොග් එකට ඇදගන්න අදහසෙන්. basic template එකකින් එහෙම අය ගෙන්නන්න අමාරුයි. හැබැයි ඒකෙන් කියවීමට බාධාවක් වෙනව නම් අනිවාර්යයෙන් ඒක ප්‍රශ්නයක් තමයි. තව අයගෙ අදහසුත් බලල වෙනස් කරන්නම් ඉස්සරහට. :)

      Delete
    3. අරූ අයියෙ, එහෙනම් මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් එකට එන එකත් seasonal offer එකක්.. :D

      Delete
    4. seasonal offer එකක්.. :D ++++++++++++++++++++

      Delete
  11. චක්‍රාවාට වගේ ‍දුර බැහැර ආකාශ වස්තුවල දුර මනින ක්‍රමය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මම කෙටියෙන් හැඳින්වීමක් විතරක් කරන්නම්, මොකද අජිත් මහත්මයා කොළඹ ගමයා බ්ලොග් එකේ ඊළඟ ලිපියෙන් මේක ගැන ලියනවා කියලා යට කමෙන්ට් කරල තියෙනවා.

      චක්‍රාවාට වලට තියෙන දුර මනින්න මේ වෙනකොට බහුලවම පාවිච්චි කරන ක්‍රමයට පදනම් වෙලා තියෙන්නෙ ආකාශ වස්තුවල දීප්තිය. සෑහෙන දුරක් ඈතින් තියෙන, ආකාශ වස්තුවකින් විහිදෙන දීප්ති මට්ටම (luminosity) නිශ්චිතව හොයාගෙන ඒ අනුව ගණනය කිරීම් කරලා ඒකට පෘථිවියේ ඉඳන් තියෙන ආසන්න දුර මනින්න පුළුවන්. ඉතින් මන්දාකිණියක/ චක්‍රාවාටයක තියෙන මේ වගේ නිශ්චිත දීප්තියක් තියෙන තරු, සුපර්නෝවා වගේ ආකාශ වස්තු සලකලා (මේවට standard candles කියලත් කියනවා.) ඒ මන්දාකිණියට තියෙන දුර දළ වශයෙන් මැනගන්නවා. ඒ ඇරෙන්න පැරලැක්ස් ක්‍රමය, ඩොප්ලර් ආචරණය වගේ ඒවත් යොදාගත්තට සෑහෙන්න විශාල දුරක් මනිද්දී ඒවා ප්‍රායෝගික නැහැ. කොළඹ ගමයා බ්ලොග් එකේ සම්පූර්ණ ලිපියක් යන හින්ද මම මෙතනින් නවත්තන්නම්.

      Delete
  12. ජගත් මේ ප්‍රශ්නය මගේ බ්ලොගයේත් අසා තිබුන නේද ? මම ඊලග ලිපියේ ඒක දාන්න ඉන්නේ. අශාන් මල්ලි දැම්මොත් අපිට notes compare කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මම කෙටියෙන් පිළිතුරක් දුන්නා. අජිත් මහත්මයාගෙ ලිපිය දාන්න. මොකද මම දැනට ලිපි අනුපිළිවෙල හදාගෙන තියෙන විදිහට ඕක ගැන ලිපිය දාන්න ජනවාරිවත් වෙයි. :D මහා පිපිරුම් වාදයෙත් තව කොටස් දෙකක් තියෙනවා.

      Delete
  13. අශාන්..................

    මං හිතන්නේ අපි මේ පැත්තට අාවෙත් අද තමයි.. කොහොම වුණත් හරිම ලස්සන වගේම වටිනා බ්ලොගයක්... අගෙයි... දිගට ම ඒන්නම්..... නැවත හමුවෙමු................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරුටු ගෑ ගී පවුර! :)

      අනිවාර්යයෙන්ම දිගටම එන්න.

      Delete
  14. වරක් බුදුන් අඹරේ දිලෙන තාරකාවක් පෙන්වා එක්තරා භික්ෂුවකගෙන් මෙසේ ඇසීය:

    "ඔබ සිතනවද අර පෙනෙන තරුව දැන් ඇත්තටම එතන තියෙනවා කියා..?"

    පිළිතුර "ඔව්."

    එවිට බුදුන්ගේ පිළිතුර:

    "ඔබ වැරදියි. ඒ තරුව මීට වසර කිහිපයකට කළින් පුපුරා ගියා. දැන් එය එතැන නැහැ. තිබෙන්නේ වසර ගණනකට පෙර අවසන් වරට එයින් නිකුත් කළ ආලෝකය පමණයි. අප දකින අත්විඳින සියල්ල පරම යථාර්ථය නොවන බව දැන්වත් වැටහේද....?"

    ReplyDelete
    Replies
    1. මීට කලින් නොඅහපු, ඒ නිසාම ඉතාම වටිනා කතාවක්.. බොහොම ස්තූතියි.

      Delete
  15. ඒ කියන්නේ දැන් අපිට පේන සමහරක් ග්‍රහලෝක, මේ වෙනකොට සමහරවිට විනාශවෙලා තියෙන්නත් පුලුවන්? මේක ශබ්දවලටත් වලංගුයි නේද? බුදු හාමුදුරුවන් දේශනා කරපු දේශනා සහ උන්වහන්සේගේ වචන මාලා, කටහඩ තාමත් විශ්වය පුරා පැතිරිලා තියෙනවා කියන්නේ මේ නිසාද?

    ReplyDelete
  16. ඔව් දනුල ඕනතරම් විනාශ වෙලා තියෙන්න පුළුවන් හැබැයි අපි ඒ විනාශය දකින්නෙ අනාගතයේ.

    ශබ්දවලටත් වලංගුයි පැහැදිලිවම. හැබැයි ශබ්ද තරංග ගමන් කිරීමේදි ඒ තරංගයේ ශක්තිය බොහොම ඉක්මණින් හානි වෙනවා ආලෝක තරංග වගේ නෙමෙයි. අපි ශ්‍රීපාදස්ථානය මුදුනට නැග්ගම සමහර වෙලාවට එතනට කොළඹ නගරය පවා පේනවා. නමුත් කොළඹ පාරක යන වාහනේක ශබ්දය කවදාවත් එතනට ඇහෙන්නෙ නැහැනෙ. එහෙම ගැටළුවක් තියෙනවා නමුත් න්‍යායාත්මකව ඕක නිවැරදියි, සමහරවිට අපි නොහිතන යම් විදියකින් හරි තාක්ෂණයකින් හරි එහෙම ශබ්දය වියැකෙන්නෙ නැතුව විශ්වය පුරා ගමන් කරනව වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  17. පෝස්ට් එක පංකදුයි... මන් ආසම සබ්ජෙක්ට් එක....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පසිඳු.

      Delete
  18. නියම පොස්ට් එක සමහර තැන් ටිකක් තේරුම් ගන්න අමාරුයි

    ReplyDelete
  19. මම හරි කැමතියි මේ සබ්ජෙක්ටි එකට

    ReplyDelete

සංවාදයට විවෘතයි.

Related Posts Plugin for WordPress, Blogger...