Tuesday, February 16, 2016

සොඳුරු නිහාරිකා

නිහාරිකාවන් පිළිබඳව විද්‍යාත්මක තොරතුරු බොහොමයක් පසුගිය ඔක්තෝබර් මස මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවියේ පළ වූ නිහාරිකා - ඇරඹුමත් අවසානයත් එතැන ය. ලිපියෙන් සාකච්ඡා කෙරිණි. මේ එහි දෙවැනි කොටස හෙවත් අලංකාර නිහාරිකාවන් දහතුනක් පිළිබඳව ලියැවෙන ඡායාරූපමය ලියැවිල්ලයි.








කකුළු නිහාරිකාව (Crab Nebula)





  • වෙනත් නම් හා වර්ගීකරණ කේත - Taurus A, M1, NGC 1952, SH2-244
  • නිහාරිකා වර්ගය - සුපර්නෝවා අවශිෂ්ට නිහාරිකා
  • පිහිටා ඇති රාශිය - වෘෂභ
  • මුල් වරට සොයාගැනීම - 1731දී ජෝන් බේවිස් විසිනි.
  • පෘථිවියේ සිට ඇති දුර - ආලෝක වර්ෂ 6500ක් පමණ
  • විශාලත්වය - ආලෝක වර්ෂ 11ක පමණ විෂ්කම්භයකින් යුක්ත යි.


මෙය තාරකා විද්‍යා ලෝලීන් අතර ඉතාමත් ප්‍රසිද්ධ සාමාන්‍ය ප්‍රමාණයේ සුපර්නෝවා අවශිෂ්ට නිහාරිකාවකි. දැවැන්ත තාරකාවක් සුපර්නෝවා පිපිරීමකට මුහුණ දුන් පසු පිටතට මුදා හරින ලද එහි පෘෂ්ඨයේ අවශේෂ කොටස්වලින් සෑදුණු කකුළු නිහාරිකාව මධ්‍යයේ පිපිරී ගිය තාරකාවෙන් බිහිවූ නියුට්‍රෝන තාරකාව පිහිටා ඇත.  (තාරකා පරිණාමනය ලිපිය කියවන්න.) මේ වනවිට සොයාගෙන ඇති කරුණු අනුව කකුළු නිහාරිකාව තත්පරයකට කිලෝමීටර 1500ක පමණ වේගයකින් ප්‍රසාරණය වෙමින් තිබේ.




කරීනා නිහාරිකාව (Carina Nebula)





  • වෙනත් නම් හා වර්ගීකරණ කේත - Great Nebula in Carina, Eta Carinae Nebula, Grand Nebula, NGC 3372
  • නිහාරිකා වර්ගය - විසාරී නිහාරිකා
  • පිහිටා ඇති රාශිය -  කරීනා
  • මුල් වරට සොයාගැනීම - 1751දී නිකොලස් ලුවිස් විසිනි.
  • පෘථිවියේ සිට ඇති දුර - ආලෝක වර්ෂ 8000ක් පමණ
  • විශාලත්වය - ආලෝක වර්ෂ 920ක පමණ විෂ්කම්භයකින් යුක්ත යි.


දැවැන්ත විසාරී (Diffuse Nebula) නිහාරිකාවක් වුවද, එහි ඇති මඳ අඳුරු ස්වභාවය හා දකුණුදිග අහසේ ක්ෂිතිජයට ඉතා ආසන්නයෙන් පිහිටා තිබීම නිසා කකුළු හා ඔරායන් නිහාරිකා තරම් ප්‍රසිද්ධ නොමැත. තාරකා විද්‍යාඥයන්ගේ නිරන්තර අවධානයට ලක්වන ඊටා කරීනා නම් අතිදැවැන්ත ද්විත්ව තාරකාව පිහිටා ඇත්තේද කරීනා නිහාරිකාව තුළ ය.




අශ්වහිස නිහාරිකාව (Horsehead Nebula)





  • වෙනත් නම් හා වර්ගීකරණ කේත - Barnard 33, LDN 1630
  • නිහාරිකා වර්ගය - අඳුරු නිහාරිකා
  • පිහිටා ඇති රාශිය - ඔරායන්
  • මුල් වරට සොයාගැනීම - 1888දී විලියෙමිනා ෆ්ලෙමිං විසිනි.
  • පෘථිවියේ සිට ඇති දුර - ආලෝක වර්ෂ 1500ක් පමණ
  • විශාලත්වය - ආලෝක වර්ෂ 13ක පමණ විෂ්කම්භයකින් යුක්ත යි.


හැඩයෙන් අශ්වයෙකුගේ හිසක් වැනි වූ නිසා ජනප්‍රිය වූ මෙම අඳුරු නිහාරිකාව නව තාරකා බිහිවීම බහුලව සිදූවන ස්ථානයකි. නිහාරිකාව වඩාත් පැහැදිලිව දිස්වීමට සහ වඩාත් අලංකාර වීමට හේතුවක් වන එහි පසුබිමේ ඇති දීප්තිමත් රෝස පැහැය අයනීකරණය වූ හයිඩ්‍රජන් අණු නිසා හටගනී.





ඔරායන් නිහාරිකාව (Orion Nebula)





  • වෙනත් නම් හා වර්ගීකරණ කේත - Great Orion Nebula, M42, NGC 1976, Sharpless 281, LBN 974
  • නිහාරිකා වර්ගය - විසාරී නිහාරිකා
  • පිහිටා ඇති රාශිය - ඔරායන්
  • මුල් වරට සොයාගැනීම - නිශ්චිත නැත.
  • පෘථිවියේ සිට ඇති දුර - ආලෝක වර්ෂ 1350ක් පමණ
  • විශාලත්වය - ආලෝක වර්ෂ 24ක පමණ විෂ්කම්භයකින් යුක්ත යි.


මෙයද තාරකා විද්‍යා ලෝලීන් අතර අතිශයින් ප්‍රචලිත වූ සුන්දර නිහාරිකාවකි. පෘථිවියට පෙනෙන දීප්තිමත්ම නිහාරිකා කිහිපයෙන් එකක් වන ඔරායන් නිහාරිකාව ඔරායන් (දඩයක්කාරයා) තාරකා රාශියේ කඩුවෙහි මැද නිරූපණය කරයි. උදාසීන වායු හා දුහුවිලි වළාවන්ගෙන් මෙන්ම විශාල අයනීකරණය වූ වායු වළාවන්ගෙන්ද සමන්විත මෙම නිහාරිකාව තුළ තම ජීවිත කාලයේ මුල් අවධි ගත කරමින් සිටින තාරකා 800ක් පමණ ඇති බව මේ වනවිට සොයාගෙන තිබේ.





හේලීක්ස් නිහාරිකාව (Helix Nebula)





  • වෙනත් නම් හා වර්ගීකරණ කේත - Caldwell 63, NGC 7293
  • නිහාරිකා වර්ගය - ග්‍රහ නිහාරිකා
  • පිහිටා ඇති රාශිය -  කුම්භ
  • මුල් වරට සොයාගැනීම - 1823දී කාල් ලුඩ්විග් හාඩින් විසිනි.
  • පෘථිවියේ සිට ඇති දුර - ආලෝක වර්ෂ 700ක් පමණ
  • විශාලත්වය - ආලෝක වර්ෂ 4ක පමණ විෂ්කම්භයකින් යුක්ත යි.


හේලීක්ස් පෘථිවියට ආසන්නයෙන්ම පිහිටා  ඇති ග්‍රහ නිහාරිකාවකි. ඇසක ස්වරූපය ගන්නා මෙම සුන්දර නිහාරිකාව එම නිසාම "දෙවියන්ගේ ඇස" (The Eye of God) ලෙසින්ද හැඳින්වෙයි.  මෙවැනි නිහාරිකාවන් ඒවායේ මධ්‍යයේ පිහිටා ඇති මියගිය තාරකාවෙන් බිහි වූ කුරු තාරකාව මගින් අලංකාර ලෙස දීප්තිමත් වන අත‍ර වසර දසදහස් ගණනකදී වායුමය කොටස් වියැකී ගොස් සම්පූර්ණ සුදු කුරු තාරකාවක් බවට පත් වනු ඇත.




සමනළ නිහාරිකාව (Butterfly Nebula)





  • වෙනත් නම් හා වර්ගීකරණ කේත - Bipolar Nebula, Bug Nebula, NGC 6302, Sharpless 6, Caldwell 69
  • නිහාරිකා වර්ගය - ග්‍රහ නිහාරිකා
  • පිහිටා ඇති රාශිය - වෘශ්චික
  • මුල් වරට සොයාගැනීම -  1907දී එඩ්වර්ඩ් එමෙර්සන් බර්නාර්ඩ් විසිනි.
  • පෘථිවියේ සිට ඇති දුර - ආලෝක වර්ෂ 3500ක් පමණ
  • විශාලත්වය - ආලෝක වර්ෂ 2ක පමණ විෂ්කම්භයකින් යුක්ත යි.


යෝධ සමනළයෙකුගේ අත්තටු දෙකක් ලෙසින් දිස්වන සමනළ නිහාරිකාව ද්විධ්‍රැව ග්‍රහ නිහාරිකාවකි. ද්විධ්‍රැව නිහාරිකාවක් ඇති වන්නේ කෙසේද යන්න තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැති වුවද, විනාශ වී යන තාරකාව එහි අඩංගු වූ පදාර්ථයන් තම උතුරු හා දකුණු ධ්‍රැවයන්වලින් ඉවතට විදාරණය කිරීමෙන් මේවා හටගන්නා බව අනුමාන කෙරේ. සමනළ නිහාරිකාවේ පෙනුම බොහෝ දුරට කාල ගණක නිහාරිකාවේ පෙනුමට සමාන වේ.




මුදු නිහාරිකාව (Ring Nebula)





  • වෙනත් නම් හා වර්ගීකරණ කේත - M57, NGC 6720, GC 4447
  • නිහාරිකා වර්ගය - ග්‍රහ නිහාරිකා
  • පිහිටා ඇති රාශිය - ලයිරා
  • මුල් වරට සොයාගැනීම - 1779දී ඇන්ටන් ඩාක්වයර් විසිනි.
  • පෘථිවියේ සිට ඇති දුර - ආලෝක වර්ෂ 2400ක් පමණ
  • විශාලත්වය - ආලෝක වර්ෂ 3ක පමණ විෂ්කම්භයකින් යුක්ත යි.


අලංකාර, වර්ණවත් මුදුවක හැඩය ගන්නා මුදු නිහාරිකාව ලයිරා රාශියේ ඇති දීප්තිමත්ම තාරකාවක් වන වේගා තාරකාවට දකුණු දෙසින් පිහිටා ඇත. මෙම ග්‍රහ නිහාරිකාව තුළ අයනීකරණය වූ ඔක්සිජන් බහුල වශයෙන් පවතින අතර, එමනිසාම නිහාරිකාවේ මධ්‍ය කොටස තද නිල් පැහැයක් ගනී.




කළපු නිහාරිකාව (Lagoon Nebula)





  • වෙනත් නම් හා වර්ගීකරණ කේත - M8, NGC 6530 and 6523, Sharpless 25
  • නිහාරිකා වර්ගය - විමෝචක නිහාරිකා
  • පිහිටා ඇති රාශිය - සැගිටාරියස්
  • මුල් වරට සොයාගැනීම - 1654දී ජියොවානි හෝඩීනා විසිනි.
  • පෘථිවියේ සිට ඇති දුර - ආලෝක වර්ෂ 4100ක් පමණ
  • විශාලත්වය - ආලෝක වර්ෂ 110ක පමණ විෂ්කම්භයකින් යුක්ත යි.


දැවැන්ත විමෝචක නිහාරිකාවක් වන කළපු නිහාරිකාව පෘථිවියේ සිට පියෙවි ඇසින් දැකගත හැකි වන තාරකා බිහිවීම බහුලව සිදුවන නිහාරිකාවන් දෙකෙන් එකකි. (අනෙක ඔරායන් ය.) අධි තාක්ෂණික කැමරාවලට රෝස පැහැයෙන් දිස් වුවද, ආලෝක සංවේදීතාවයෙන් අඩු මිනිස් ඇසට තද අළු පැහැයකින් දර්ශනය වේ.




රොසෙටා නිහාරිකාව (Rosette Nebula)





  • වෙනත් නම් හා වර්ගීකරණ කේත - Caldwell 49
  • නිහාරිකා වර්ගය - විසාරී නිහාරිකා
  • පිහිටා ඇති රාශිය - මොනොසෙරස්
  • මුල් වරට සොයාගැනීම - 1840දී ජෝන් හර්ෂල් විසිනි.
  • පෘථිවියේ සිට ඇති දුර - ආලෝක වර්ෂ 5300ක් පමණ
  • විශාලත්වය - ආලෝක වර්ෂ 130ක පමණ විෂ්කම්භයකින් යුක්ත යි.


සූර්යයාගේ ස්කන්ධය මෙන් 11,000 ගුණයක පමණ ස්කන්ධයකින් යුතු රොසෙටා නිහාරිකාව තවත් තාරකා බිහිවීම බහුලව සිදු වන නිහාරිකාවකි. මෙම නිහාරිකාව තුල තම ජීවිත කාලයේ මුල් අවධි පසු කරමින් සිටින ප්‍රාථමික තාරකා 2500ක් පමණ ඇති බව සොයාගෙන ඇත. රොසෙටාවේ මධ්‍ය කොටසට ආසන්නයෙන්ම Caldwell 50 නමැති තාරකා පොකුර පිහිටා ඇති අතර එයද රොසෙටා නිහාරිකාවෙන් බිහි වූවක් යයි සැලකේ.




කේතු නිහාරිකාව (Cone Nebula)





  • වෙනත් නම් හා වර්ගීකරණ කේත - NGC 2264
  • නිහාරිකා වර්ගය - විසාරී නිහාරිකා
  • පිහිටා ඇති රාශිය - මොනොසෙරස්
  • මුල් වරට සොයාගැනීම - 1785දී විලියම් හර්ෂල් විසිනි.
  • පෘථිවියේ සිට ඇති දුර - ආලෝක වර්ෂ 2700ක් පමණ
  • විශාලත්වය - ආලෝක වර්ෂ 8ක පමණ විෂ්කම්භයකින් යුක්ත යි.


නත්තල් ගස යනුවෙන් හැඳින්වෙන තාරකා හා අන්තර් තාරීය වළා (interstellar clouds) සමූහයේ (Christmas Tree Cluster) පහත, දකුණුදිග කොටසේ පිහිටා ඇති කේතු නිහාරිකාව අණුක හයිඩ්‍රජන් සහ දුහුවිල්ලෙන් පිරුණු විසාරී නිහාරිකාවකි. කේතු නිහාරිකාවේ ඇති අඳුරු ස්වභාවය නිසා බොහෝ දෙනා මෙය අඳුරු නිහාරිකාවක් ලෙස වරදවා වටහා ගනිති.  

෴Christmas Tree Cluster෴

කාල ගණක නිහාරිකාව (Hour Glass Nebula)





  • වෙනත් නම් හා වර්ගීකරණ කේත - Etched Hourglass Nebula, PN MyCn 18
  • නිහාරිකා වර්ගය - ග්‍රහ නිහාරිකා
  • පිහිටා ඇති රාශිය - මූස්කා
  • මුල් වරට සොයාගැනීම - 1918 - 1924 කාලයේදී ඇනී ජම්ප් කැනොන් සහ මාග්‍රට් මේයල් විසිනි.
  • පෘථිවියේ සිට ඇති දුර - ආලෝක වර්ෂ 8000ක් පමණ
  • විශාලත්වය - ආලෝක වර්ෂ 1ක පමණ විෂ්කම්භයකින් යුක්ත යි.


ඉතාමත් ළාබාල ද්විධ්‍රැව ග්‍රහ නිහාරිකාවකි. මෙය 1920 දශකය තරම් ඈත අතීතයකදී සොයා ගැනුණද, එහි ඇති කාල ගණකයක ආකාරයේ හැඩය හඳුනාගනු ලැබුවේ 1996දීය.




හංස පුඩුව (Cygnus Loop)





  • වෙනත් නම් හා වර්ගීකරණ කේත - Veil Nebula, Cirrus Nebula, Filamentary Nebula
  • නිහාරිකා වර්ගය - සුපර්නෝවා අවශිෂ්ට නිහාරිකා
  • පිහිටා ඇති රාශිය - හංස
  • මුල් වරට සොයාගැනීම - 1784දී විලියම් හර්ෂල් විසිනි.
  • පෘථිවියේ සිට ඇති දුර - ආලෝක වර්ෂ 2500ක් පමණ
  • විශාලත්වය - නිශ්චිතව ගණනය කර නොමැත.


අතිදැවැන්ත සුපර්නෝවා අවශිෂ්ට නිහාරිකාවකි. වසර 15,000කට පමණ පෙර පුපුරා ගිය දැවැන්ත තාරකාවකින් නිර්මාණය වුණු මෙහි විවිධ කොටස්වලට විද්‍යාඥයන් විසින් විවිධ නම් ලබා දී ඇති අතර දුරේක්ෂයන්ට හසු වන කොටස Veil Nebula, Cirrus Nebula, Filamentary Nebula ආදී නම්වලින් හැඳින්වේ.  හංස පුඩුවේ දෘශ්‍ය ප්‍රදේශයේ කුඩා කොටස් තවදුරටත් බටහිර වේලය (Western Veil), නැගෙනහිර වේලය(Eastern Veil) සහ මායාකාරියගේ කොස්ස (Witch's Broom)වැනි නම්වලින් හඳුන්වනු ලැබේ.





සටහන: පසුගිය මාස තුනක පමණ කාලයේදී අධ්‍යාපන කටයුතු සමග කාර්යබහුල වී සිටි නිසා බ්ලොග් අඩවිය අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි විය. අද සිට නැවතත් බ්ලොග් අඩවිය අවම වශයෙන් සතියකට වරක්වත් යාවත්කාලීන වනු ඇත.

මීළඟට: වසර සියයකට පසු අයින්ස්ටයින්ගේ සහයට ආ ගුරුත්වජ තරංග

12 comments:

  1. බුදු අම්මියෝ ලෝඩ් එක වැඩියි..

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න දේශා. මේකට පාවිච්චි කරපු ෆොටෝසුත් ඔක්කොම high quality ඒවා, එකයි ලිපිය තවත් දිග වැඩි වුණේ.

      Delete
  2. ඈ බං කුකුලගෙ ප්‍රසාරණ වේගය ෆ්ලෑෂ් කොලුවටත් වඩා වැඩී නේහ්
    මරුනෙ.. හිහි.
    සෑහෙන දවසකිං ඇවිත් ඇරියස ඔක්කම කවර් කරල. හෙහ්
    ඒක නෙවී කෝ අර කියාපු භාන්ඩෙ. රෙද්දකිං වහලම දැම්මය. හිහි

    වැදගත් තොරතුරු ටිකක් මචෝ. ජයවේවා

    ReplyDelete
    Replies
    1. කුකුළද, කකුළුවද මහේෂ් අයියෙ. එක නම් සහතික ඇත්ත, ෆ්ලෑෂ් පරාදයි පෘථිවියෙන් එලියට ගියාම.

      එකනේ මාස තුනකට පස්සේ ආවම ටිකක් වැඩිපුරත් එක්ක දෙන්න ඕනනේ. අහා එක ලබන සතියේ.

      බොහොම ස්තුතියි මහේෂ් අයියෙ.

      Delete
  3. ලස්සන පින්තුර ටික ... අශාන් දැන් මේ නිහාරික වල හැඩය වෙනස් වෙනවා නේද ? අර අශ්වයාගේහිස තියන නිහාරිකාව ..රෝස පාට ඒ වලාකුළුද ? ඒවායේ පිහිටීම උනත් වෙනස් වෙනවා නේ ?

    ReplyDelete
    Replies
    1. එකට ස්තූති කරන්න ඕන නාසා, ඊසා කට්ටිය අභ්‍යවකාශගත කරලා තියෙන දුරේක්ෂ වලට තමයි.

      ඔව් හංසි, නිහාරිකාවක සිද්ධ වෙන්නෙත් මීදුමක, දුමක වෙන සංසිද්ධියම තමයි. කාලයත් එක්ක මීදුමක් ප්‍රසාරණය වෙලා, පැතිරිලා අන්තිමට මැකිලා යනවනේ. නිහාරිකාවත් ඒ විදියම තමයි. වෙනසකට තියෙන්නෙ නිහාරිකාවක් මෙහෙම ප්‍රසාරණය වෙලා, වියැකිලා යන්න ඉතාම විශාල කාලයක් ගත වන එක. මේ කාලය අවරුදු දසදහස් ගණනක්, මිලියන ගණනක් වෙනවා.
      ඔව් ඒවා විවීධ වායු වර්ග, දුහුවිලි වගේ පදාර්ථවලින් හැදුන වලාකුළු තමයි. මේවා වර්ණ ගැන්වෙන්නේ නිහාරිකාවේ තියෙන අයනීකරණ වෙච්ච වායු වර්ග නිසා. ඒ ඇරෙන්න මම පළවෙනි කොටසේ කිව්වා වගේ මේවා ඡායාරූපගත කරනකොට ස්වභාවික වර්ණ වැඩිදියුණු කරනවා.තව අවරුදු මිලියන ගාණක් යද්දී අශ්වහිස නිහාරිකාව අශ්ව හිසක හැඩයක් ගන්න එකක් නෑ.

      Delete
  4. සෑහෙන කාලෙක්න් නේ ලිව්වෙ...?

    මේක මං සේව් කරගන්නව පොඩි එකාට දෙන්න කවද හරි.

    ඉන්ටරෙස්ටිං ම කාරණේ තමයි, මේ අපි දකින පින්තූර, දැනට අවුරුදු ලක්ෂ ගාණකට එහා පැවතුනු නිහාරිකා වල එව්ව නේද? අපිට ක්ෂණයකින් එතනට යන්න පුළුවන් නං දකින්න තියෙන්නෙ වෙනස්ම රූපයක්. ඒක හරි කෞතුකයි...

    ReplyDelete
    Replies
    1. ඔව් ඩ්‍රැකී විභාග, assignments ආවා එක දිගට.

      අනිවාර්යෙන්ම මේවා හරිම වැදගත් වගේම අහන්න, දකින්න ආස හිතෙන දේවල්.

      ඔව් මේ හැම ඡායාරූපයකම සටහන් වෙන්නේ ඒ ඒ නිහාරිකාවල අතීත ස්වරූපය තමයි. ඒ කාල පරතරය වෙනස් වෙනවා අදාළ නිහාරිකාවට තියෙන දුරත් එක්ක. උදාහරණයක් විදියට පෘථිවියට ආලෝක වර්ෂ 2400ක් ඈතින් තියෙන මුදු නිහාරිකාව ගත්තොත්, අපි මේ අද දකින්නේ ඒ නිහාරිකාව මීට අවුරුදු 2400කත තරමක් අඩු කාලෙකට කලින් තිබුන ස්වරූපය.

      මේ තියෙන්නෙ මම මේ සංසිද්ධිය ගැන මීට කලින් ලියපු ලිපියක්.
      ඔබ අහසේ දකින්නේ වර්තමානය නොවේ!

      Delete
  5. මේ පැත්තට ආවෙ අදයි... සතුටුයි... මගේ කවි පොතේ පෙරවදන ලියූ නාමල් අයිය ලියල තියෙනවා ඉස්සර මං ලියද්දි අනාගතේ නිහාරිකාවක් වන බව දැණුනා කියල.. ඒකෙ බරපතලකම දැන් තමයි දැනෙන්නෙ...

    සුබ පැතුම් අශාන්...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා තරුරසී. බොහොම ස්තූතියි වගේම ඔබටත් සුභ පැතුම්!

      හහා කවි නිහාරිකාවක් වෙන එකත් ලේසි නෑ තව අලුත් කවියෝ සෑහෙන ප්‍රමාණයක් ක්ෂේත්‍රයට හඳුන්වා දෙන්න වෙනව. පොත් සල්පිලක් තියෙන බව දැනගත්තේ අන්තිම මොහොතේ නිසා පොත් ගන්න ලෑස්ති වෙලා එන්න බැරි වුණා. සල්ලි නොතිබුණ නිසා පොත් තිබුන පැත්තටවත් ගියේ නෑ, නැත්තන් look at all these books I cannot buy කියල දුක් වෙන්න වෙනවනෙ. ඊළඟ ඉවෙන්ට් එකේදී බලන්න ඕන.

      Delete
  6. Ammo man hithuwe mewa gana hoyanna asawa thibata dana ganna naa kiya. Eth thiyenawane kauda danne na me wade karanne kiyanna wachana naa godak pin.

    ReplyDelete
  7. meka aye liyanna patan ganin bn....

    ReplyDelete

සංවාදයට විවෘතයි.

Related Posts Plugin for WordPress, Blogger...