
සටහන: මෙම ලිපිය ලියැවෙන්නේ බ්ලොග් අඩවියේ මිතුරන් කිහිපදෙනෙකුගේ ඉල්ලීම වෙනුවෙනි. මෙහි අඩංගු කරුණු වටහා ගැනීමට චිත්‍රපටය නරඹා තිබීම අවශ්‍ය වේ.
ඔස්කාර් සම්මානයක් ද ඇතුළුව සම්මාන 45ක් දිනාගත් Interstellar චිත්‍රපටය Inception, The Dark Knight trilogy වැනි අග්‍රගණ්‍ය සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කළ Christopher Nolanගේ තවත් අද්විතීය නිර්මාණයකි. ඇමෙරිකානු ඩොලර් මිලියන 670කට වඩා වැඩි මුදලක් උපයමින් 2014 වසරේ තිරගත වුණු මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත Matthew McConaughey හා Anne Hathaway විසින් රඟපාන ලදී.
Interstellar යනු රචකයෙකුගේ මනසේ මැවුණු හුදු විද්‍යා ප්‍රබන්ධයක් පමණක්ම නොවේ. එහි අන්තර්ගත සෑම සිදුවීමක්ම නිර්මාණය කර ඇත්තේ සැබෑ වශයෙන්ම විද්‍යාත්මක න්‍යායන් හා කරුණු පදනම් කොටගෙන ය. මේ සඳහා ප්‍රවීණ අභ්‍යවකාශ භෞතික විද්‍යාඥයෙකු වන Kip Thorne චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භයේ සිට අවසානය දක්වාම උපදෙස් සැපයීමේ හා අධීක්ෂණය කිරීමේ කාර්යයේ නිරතව සිට තිබේ.

ජෝසප් කූපර් ද නාසා ආයතනයේ අභ්‍යවකාශගාමියෙකු ලෙස සේවය කොට පසුව ඉන් ඉවත් වී වගා කටයුතු වලට යොමු වූ අයෙකි. වසර ගණනකට පෙර නාසා ආයතනය ද වසා දමා ඇත්තේ ව්‍යසනයෙන් පසු මූලික අවශ්‍යතාවයන් සඳහා අත්‍යවශ්‍ය වූ මුදල් අභ්‍යවකාශ ගවේෂණ ව්‍යාපෘතීන් වලට වැය කිරීමට එරෙහිව මහජනයා අතරින් නැගුණු ප්‍රබල විරෝධයක් නිසා ය. එක් දිනක් දැවැන්ත දුහුවිලි කුණාටුවකට මුහුණ දීමෙන් පසු කූපර්ගේ දියණිය, මර්ෆි ඇගේ කාමරයේ බිම දුහුවිලි වලින් ඇඳුණු රටාවන් කිහිපයකට ඔහුගේ අවධානය යොමු කරවන අතර කූපර් මුලදී එය අහඹු සිදුවීමක් යැයි සලකා බැහැර කළද, පසුව එයින් යම් අක්ෂාංශ-දේශාංශ පිහිටුමක් නිරූපණය වන බවට සැක පහළ කරයි. දියණියද සමග එම පිහිටීම සොයා යන ඔහුට එහිදී හමුවන්නේ අතිශයින් රහසිගතව තවදුරටත් පවත්වාගෙන යන නාසා ආයතනය යි. වසා දැමූ බවට ලෝකයට හැඟවුවද, දිගින් දිගටම ක්‍රියාත්මක වූ නාසා ආයතනය ගත වූ වසර කිහිපය තුළ මානව සංහතිය බේරාගැනීම සඳහා විශාල වශයෙන් පර්යේෂණයන් කර තිබේ.
වැදගත්ම කාරණය වන්නේ ළඟ ළඟම එන ඛේදවාචකයෙන් මිනිස් වර්ගයා බේරාගැනීමට යම්කිසි දියුණු ජීව විශේෂයක් ඉදිරිපත් වී තිබීම යි. මහාචාර්ය බ්‍රෑන්ඩ් විසින් 'ඔවුන්' ලෙස හඳුන්වන මෙම ජීවීන් මිනිසුන් සමග සන්නිවේදනයේ නොයෙදෙන අතර ඒ වෙනුවට සෙනසුරු ග්‍රහයා අසල පණු කුහරයක් (Worm Hole) නිර්මාණය කර තිබෙන්නේ මිනිසුන්ට ඒ හරහා ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් පිහිටි වෙනත් මන්දාකිණියකට ගොස් වාසයට සුදුසු ග්‍රහලෝකයක් සොයාගැනීම සඳහා ය.
නාසා ආයතනය විසින් මේ වනවිටත් පණු කුහරය හරහා එම මන්දාකිණියේ ඇති ග්‍රහලෝක දොළහකට අභ්‍යවකාශගාමීන් යවා ඇති අතර ඉන් ලෝක තුනක් ජීවයට හිතකර බවට අදාළ අභ්‍යවකාශගාමීන් විසින් සංඥා එවා ඇත. කලකට පෙර පළපුරුදු අභ්‍යවකාශ යානා නියමුවෙකු වූ කූපර්ට තවත් අභ්‍යවකාශගාමීන් කිහිපදෙනෙකු සමග එම ග්‍රහලෝක තුන පිළිබඳව වැඩිදුර තොරතුරු සොයා යාමේ මෙහෙයුමක් පැවරෙයි. (එහෙත් මෙහෙයුමේ සැබෑ අරමුණ වෙනකක් වූ බව චිත්‍රපටයේ පසුභාගයේදී හෙළි කෙරේ.)
දැන් මෙම චිත්‍රපටයේ තිබූ අපැහැදිලි සංසිද්ධීන් කිහිපය පිළිබඳව විමසා බලමු.
1. පණු කුහරය
පණු කුහරයක් යනු කුමක්ද යන්න මීට පෙර පළ වූ ලොව කැළඹූ බර්මියුඩා ත්‍රිකෝණය ලිපියේදී පැහැදිලි කෙරිණි. අදාළ ඡේදය පහතින් උපුටා දැක්වේ.
"නවීන තාරකා හා අභ්‍යවකාශ විද්‍යාවේ පවතින වැදගත්ම සංකල්පයක් ලෙස පණු කුහර (Worm Holes) හැඳින්විය හැකිය. ප්‍රායෝගිකව තවමත් මෙවැන්නක් හෝ මෙවැන්නක් නිර්මාණය කරන ආකාරයක් සොයා ගෙන නොතිබුණද, මේවා නිර්මාණය කළ හැකි බවට බොහෝ විද්‍යාඥයෝ තර්ක කරති. සරලව පැහැදිලි කළහොත්, කාලය හරහා හෝ අවකාශය හරහා ගමන් කළ හැකි නළයක හැඩැති මාර්ගයක් පණු කුහරයක් ලෙස අර්ථ දැක්වේ. මෙවැනි නළයක දෙපස විවරයන් දෙක A හා B යැයි සිතමු. ඔබ A විවරයෙන් නළයට ඇතුළු වුවහොත් B විවරයෙන් පිට වන්නේ A විවරයට ආලෝක වර්ෂ සියයක් හෝ දහසක් ඈතින් පිහිටි විශ්වයේ වෙනත් ස්ථානයකට හෝ සමාන්තර විශ්වයකට විය හැකිය. නැතිනම් A විවරය තිබෙන ස්ථානයේම B විවරයද පිහිටා තිබිය හැකි අතර එවිට ඔබ B විවරයෙන් පිට වන්නේ A විවරයෙන් ඇතුළු වූ ස්ථානයේම අතීතයට හෝ අනාගතයට ය! එනම් පණු කුහරය හරහා ගමන් කිරීමේදී ඔබ විසින් අවකාශය හෝ කාලය තරණය කොට ඇත."
චිත්‍රපටයේ අඩංගු පණු කුහරය අවකාශය තරණය කිරීමට නිමවන ලද්දක් බව ඔබට වැටහෙනු ඇත. නමුත් පණු කුහරය හා කළු කුහරය එකිනෙක පටළවා නොගත යුතුය. කළු කුහරයක් යනු සැබැවින්ම පවතින ස්වභාවික ආකාශ වස්තු විශේෂයක් වන අතර පණු කුහරයක් යනු ස්වභාවික නොවන, කෘතිමව නිර්මාණය කළ හැකි වේ යැයි සිතන සංකල්පමය ආකාශ වස්තු විශේෂයකි.
2. පළමු ග්‍රහලෝකයේ කාල වෙනස සහ දැවැන්ත දිය රැළි
කූපර් හා පිරිස ගමන් කරන පළමු ග්‍රහලෝකයේ එක් පැයක් පෘථිවි වර්ෂ 7කට සමාන බව චිත්‍රපටයේ සඳහන් වේ.
කාලය යනු නිරපේක්ෂ වූ, සෑමතැනකදීම එක සමාන වූ දෙයක් නොවේ. එය විවිධ හේතූන් නිසා විවිධ වෙනස්කම් වලට භාජනය විය හැකිය. මෙම විවිධ හේතූන් අතර ස්කන්ධයට ප්‍රබල ස්ථානයක් හිමි වේ. අතිවිශාල ස්කන්ධයක් ඇති වස්තුවකට ඒ අවට කාල-අවකාශය (space-time) වක්‍ර කළ හැක. එමනිසා එම ස්කන්ධය අසලදී කාලය ගමන් කිරීමේ වේගය ඊට ඈතින් පිහිටි ස්ථානයකදී කාලය ගමන් කිරීමේ වේගයට වඩා අඩු වේ.
![]() |
෴Gargantua කළු කුහරය෴ |
කූපර් මුලින්ම ගමන් කරන්නේ කළු කුහරයට ආසන්නයෙන්ම පිහිටි ග්‍රහලෝකය වෙතය. ඔවුන්ට පෙර අදාළ ග්‍රහලෝකයට පැමිණි මිලර් නම් වූ අභ්‍යවකාශගාමිනිය එය ජීවයට හිතකර බවට සංඥා නිකුත් කළද, එම ග්‍රහලෝකය මතට ගොඩබසින කූපර් ඇතුළු පිරිස එය ඉතා අනතුරුදායක ස්ථානයක් බව වටහා ගනී. මුළු ග්රහලෝකයම නොගැඹුරු ජල කඳකින් වැසී තිබෙන අතර කළු කුහරයේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්රයේ අධික බලපෑම නිසා ඇති වන අති දැවැන්ත දියරැළි විටින්විට ලොව වටා ගමන් කරයි. පෘථිවියේ කාලය මේ ග්‍රහලෝකයේ කාලයට වඩා ඉතා වේගයෙන් ගමන් ගන්නා නිසා මිලර් වසර ගණනාවක් තිස්සේ සංඥා එවමින් සිටින්නේ යැයි නාසා ආයතනය වරදවා වටහා ගත්තද, සැබැවින්ම ඇය සංඥා උපකරණය සවි කර ඇත්තේ කූපර්ලා පැමිණීමට මිනිත්තු කිහිපයකට පෙර ය. ඉන් තත්පර කිහිපයකට පසු ඇයද දිය රළකට හසු වී මියගොස් තිබේ.
කූපර්ගේ කණ්ඩායම දිය රළකට හසු වීමෙන් පසු එම ලෝකය මත පැය කිහිපයක් ගත කිරීමට සිදුවන අතර ඔවුන් නැවත කළු කුහරයට වඩාත් ඈතින් ස්ථානගත වූ Endurance මව් යානය වෙත පැමිණෙන විට එම යානය තුළ ගත වී ඇති කාලය වසර 23 කි. පෘථිවියේ කාලය අනිවාර්යයෙන්ම ඊටත් වඩා වේගයෙන් ගමන් කළ යුතු නිසා පෘථිවිය මත වසර 23කටද වඩා කාලය ගත වී ඇති බව අප අවබෝධ කරගත යුතුය.
3. 'ඔවුන්' කවුරුන්ද?
'ඔවුන්' යනු බුද්ධිමත් පිටසක්වළ ජීව විශේෂයකැයි මහාචාර්ය බ්‍රෑන්ඩ් සිතුවද, චිත්‍රපටයේ අගභාගයේදී ඔවුන් යනු වෙන කවරෙක්වත් නොව අනාගතයේ වෙසෙන මිනිසුන්ම බව හෙළි වේ. අනාගතයේදී අතිශය දියුණු, පංචමාන (5 dimensional) ජීවියෙකු බවට පත්වන මිනිසා කාලය හරහා අතීතයට ගමන් කර පණු කුහරයක් නිර්මාණය කරමින් තමන්ගේ මුතුන්මිත්තන්ට (කූපර්ගේ යුගයේ ජීවත් වන්නන්) විනාශයෙන් ගැළවීමට මගපෙන්වා දී තිබේ. නමුත් මෙම මගපෙන්වීම නාසා ආයතනය සැලසුම් කළ පරිදි සියළුම මිනිසුන් පණු කුහරය හරහා වෙනත් ලෝකයකට ගෙනයාමට නම් නොවේ. අනාගත මිනිසාගේ අරමුණ වන්නේ පණු කුහරය හරහා කූපර්ව Gargantua වෙත ගෙන්වාගෙන ඔහු ලවා මිනිසාට එතෙක් අභිරහසක් වූ කළු කුහර පිළිබඳ දත්ත ඔහුගේ දියණිය මර්ෆිට යවා ඇගේ ගණනය කිරීම් මගින් මිනිස් වර්ගයා ගළවා ගැනීම යි.
අප ත්‍රිමාන පරිසරයක වාසය කරන ජීවීන් වෙමු. ත්‍රිමානය හෙවත් මාන තුන නම් දිග, පළල හා උස යි. ත්‍රිමාන ජීවීන් වූ අපට මෙම මානයන් තුන පාලනය කළ හැකිය. නූතන විද්‍යාවට අනුව හතරවන මානය වන්නේ කාලය යි. ත්‍රිමාන වූ අපට සිව්වන මානය වූ කාලය පාලනය කළ නොහැක. නමුත් පංචමාන ජීවියෙකුට කාලයද ඇතුළුව මාන පහක් පාලනය කළ හැකිය. (මේ පස්වන මානය කුමක්දැයි චිත්‍රපටයේ සඳහන් වන්නේ නැත.) එනම් අප මාර්ගයක ඒ මේ අත ගමන් කරන්නාක් මෙන් මේ අනාගත මිනිසුන්ට කාලය හරහා ඒ මේ අත ගමන් කළ හැක.
කූපර් හා TARS රොබෝවරයා කළු කුහරය තුළට ගමන් කළ පසු ඇතුළු වන්නේ අස්වාභාවික පොත් රාක්ක වැනි බිත්ති වලින් වටවූ ස්ථානයකට ය. Tesseract නමින් හැඳින්වෙන මෙය කූපර්ට කාලය හරහා අතීතයට ගමන් කර කුඩා මර්ෆි සමග සම්බන්ධ වීම සඳහා අනාගත මිනිසුන් තැනූ පංචමාන ව්‍යුහයකි. ඔහු ඒ හරහා මර්ෆිගේ ජීවිතයේ විවිධ අවස්ථා සමග සම්බන්ධ වෙමින් මෝස් කේත මගින් ඇයට කළු කුහරයේ විද්‍යාත්මක දත්ත යවයි. (අතීතයේදී කූපර්ට දුහුවිලි වලින් නාසා ආයතනයේ අක්ෂාංශ-දේශාංශ ලබා දුන්නේද දැන් Gargantua තුළ සිටින වර්තමාන කූපර්ම බව මෙහිදී හෙළි වේ.)
කෙසේ හෝ මේ අයුරින් අනාගත මිනිසාගේ සැලැස්ම සාර්ථක වන අතර කූපර් ලබාදුන් දත්ත උපයෝගී කරගෙන මර්ෆි මිනිස් ශිෂ්ඨාචාරය ගලවා ගනී. පෘථිවියෙන් පිටත් වී වසර සියගණනකට පසු නැවත පැමිණෙන කූපර් මහළු වී මරණාසන්නව සිටින තම දියණිය හමු වී, නැවතත් පිටත් වන්නේ Gargantua කළු කුහරය අසල තුන්වැනි ග්‍රහලෝකය වෙත ගොස් සිටින අමේලියා බ්‍රෑන්ඩ් සමග එක් වීමට ය. ('ඔවුන්' යනු කූපර් නැවත පැමිණෙන විට ජීවත්ව සිටින මිනිසුන් නොව ඊට වඩා බොහෝ ඉදිරි අනාගතයේ වෙසෙන මිනිස් ශිෂ්ඨාචාරයකි.)
"අනාගතයේ ඉන්න මිනිස්සු වර්තමාන මිනිස්සුන්ට බේරෙන්න උදව් කරනවා කියන්නෙ අනාගතයෙ අය කොහොමහරි විනාශයෙන් බේරිලා තියෙනව කියන එකනෙ. එහෙනම් එයාල කොහොමද මර්ෆිගේ ගණනය කිරීම් නැතුව බේරුණේ?"
මේ චිත්‍රපටය නැරඹූ බොහෝදෙනෙකුට මතු වූ ගැටළුවකි. මෙය සාපේක්ෂතාවාදයට සම්බන්ධ ඉතා සංකීර්ණ සංසිද්ධියක් වන අතර පැහැදිලි කිරීම තරමක් අපහසු ය. Bootstrap Paradox නමින් හැඳින්වෙන මින් සරලව අදහස් වන්නේ තමන් අතීතයට ගොස් තමා විසින් තමන්වම නිර්මාණය කරගැනීම යි. (තමා යන්නට මිනිසෙකු හෝ යම් සිද්ධියක් වුවද ආදේශ කළ හැක.)
සටහන: මෙය මා Interstellar චිත්‍රපටය වටහාගත් ආකාරය වේ. ඔබට Interstellar පිළිබඳව වෙනස්ම කියැවීමක් තිබිය හැක. ලිපිය සංවාදයට විවෘත ය.
නියමයි.. ඔය පිලුම බලන්න ට්‍රයි කරා. ඒත් හැකි උනේ නෑ. අපිට ටොරන්ට් බාන්න තහනං නිසා..
ReplyDeleteබලන්නම වටින ෆිල්ම් එකක් දේශා.. මම දාපු ඩවුන්ලෝඩ් ලින්ක් එක 1 GB, පුළුවන් වෙලාවක ගෙදරින්වත් ට්‍රයි කරල බලන්න..
DeleteGood article. Thank you !
ReplyDeleteThanks a lot. :)
DeleteBack to the future I , II, 111. :-D
ReplyDeletebootstrap paradoxනේ? අර අතීතෙට ගිහින් සින්දුවක් කියන එකනේ... ප්‍රාට මතකද Terminator 2 එකේ Skynet හැදෙන හැටියි, Star Trek 4 එකේ කණ්නාඩි කුට්ටමයි? Paradoxes everywhere! :D
Deleteතමන්ගේ දෙමව්පියන්ගේ matchmaker වෙන එක. දෙමව්පියන් යාලුවෙන එක ෂුවර් නැතිවුනාම අරගෙන ගිය ෆැමිලි ෆොටෝ එකේ තමන්ව මැකෙනව, යාලුවුනාම ආයිත් මතුවෙනව.
Deleteතුන්වෙනි එකේ මට මතක විදිහට අනාගතය වෙනස් කරනව, එක පාරක් දුෂ්ටයා කරනව , පස්සෙ වීරයා ඒක රෙපෙයාර් කරනව
එතකොට අර අතීතෙට ගිහින් ප්‍රසිද්ධ සින්දුවක් කියලා, ඒක කියපු ගායකයටම ඒ සින්දුව කියන්න අයිඩියා එක දෙන්නෙ පළවෙනි ෆිල්ම් එකේද? මම back to the future තුනෙන් එකක් බැලුවා හැබැයි ඒ කීවෙනි එකද කියල මතක නෑ හත වසරෙ හරි අට වසරෙ හරි ඉඳිද්දි බැලුවේ.
Deleteකියවීමට සමාන්තරව කමෙන්ටුව දාන්නෙ ඈ....
ReplyDelete//පෘථිවිය ශීඝ්‍රයෙන් .... අවසාන වසර කිහිපය යි.// මේකනං යථාර්තයමයි.
//Christopher Nolanගේ තවත් අද්විතීය නිර්මාණයකි// විශ්වකර්මයෙක්! ලෝකයේ අපේක්ෂිත දියුණුව ලංකාවට වඩා බොහෝ ඉහලින්ද හොලිවුඩයට වඩා බොහෝ පහලින්ද ඇත කීයා හිතුනාට, මේ වගේ නිර්මාණ ඇත්තටම මේවා නියම අනාවැකි බව කිව්වහැකි.
//ජීවත් වීම ම..... කෘෂිකර්මාන්තය ප්‍රධානම හා උසස්ම ජීවන වෘත්තිය බවට පත් වේ// අනාගතයේ මේක වෙන බව මට පැහැදිලිවම දැනෙනවා.
//වසර ගණනකට ... ප්‍රබල විරෝධයක් නිසා ය//. මේක ලංකාවෙත් මෑතකදි වුණා.
//එක් දිනක් ... සැක පහළ කරයි// මාපිය දූදරු දැඩි සම්බන්ධතාවය බොහොමයක් චිත්‍රපටිවල තියෙන මම දකින්න ආසම කරන දෙයක්. හැකි සෑම විටම එය නිවසට අදාල කරගන්න මතක් වෙන්න ඕනි නිසාමත් මම ෆැමිලි ෆිල්ම් හොය හොයා බලනවා. ගෙදර අයටත් බලන්න දෙනවා.
//වසා දැමූ බවට ... පර්යේෂණයන් කර තිබේ.// මම විමල්ගේ ජාතියේ ඇමෙරිකන් විරෝධියෙක් නෙමේ. ඒ වුණාට මානව සංහතිය බේරාගන්නනම් නෙමේ මෙයාලාගෙ සැලසුම්. ඇමෙරිකාව විතරක් ලෝක සිතියමේ ඉතිරි කරගන්න. චිත්‍රපටියක් ගැහුවත් රුසියාව, කියුබාව, වියට්නාමය වගේ රටකට ගහන එක තමා මුන්දැලාගෙ සිරිත. ඒකෙ වරදක් කියන්නත් බෑ ඉතිං. අනිත් රටවලුත් ඒක කරනවා ඇති මම නොදන්නවාට.
//වැදගත්ම කාරණය වන්නේ ... සුදුසු ග්‍රහලෝකයක් සොයාගැනීම සඳහා ය// මෙහේ ගැන දන්න දියුණු මනසක් තියෙන ජීවීන් ඉන්නවානං මේ ලෝකෙට මිනිස්සු කරලා තියෙන විනාසෙට පණු හෝල් හදනවා නෙමේ, කෙළලා අරිනවා පට්ට පදිරි නන්නත්තාර වෙන්න. ජීවීන් කියනවාට වඩා මේ විශ්වයම මවපු ස්වභාව ධර්මයම තමා දැනටත් යමක් කරන්නෙ මුන්ගෙ ඇස් ඇරෙන්න.
//එහෙත් මෙහෙයුමේ ... පසුභාගයේදී හෙළි කෙරේ// මට හිතාගත්තැකි.
//අනාගතයේ ඉන්න ...නැතුව බේරුණේ?// ටර්මිනේටර් තමා මම දැකපු ඔය ගැටළුව තියෙන අනික.
ඉතිරිය චිත්‍රපටය බැලීමෙන් පසු...................!!!!!!!!
මමත් චිත්‍රපටි පිස්සෙක්. විශේෂයෙන් විද්‍යා ප්‍රබන්ධ. විනෝදයට වෙනසකට කොමඩි සහ ත්‍රිලර් බලනවා. මේ වගේ ඒවායේදි මාත් මුලින් ට්‍රේලර් හොයාගෙන බලනවා. චිත්‍රපටිය බලන්නේ හැමෝම නිදාගත්තම. putlocker.is තමා සයිට් එක. ඉංග්‍රීසි සබ්ටයිටල් ඔන් කරගන්නවා. සමහර තැන්වල නවත්තලාම කියවනවා. (හොඳයි නම් පහුවදාට දරුවන්ට බලන්න දෙනවා. පීජී 13 වගේ එවා තහනම් කරන්නේ නෑ.) ඉන් පස්ස්‍ෙ විකියාගෙන් ප්ලොට් එක බලනවා. ආයි විචාර, ශ්‍රේණිගත කිරීම්, සම්මාන මොනවාද බලනවා.
R.I.P.D. බලලා තියේද? එක්තරා සත්‍යයක් ගැබ්වුණු හොඳ චිත්‍රපටියක්. කොමඩි වුණත් 17 Again එකෙත් ඔහොම කාලය හරහා යාමක් තමා තියෙන්නෙ.
අගෙයි! බොහොම ස්තූතියි! මේ විස්තරය චිත්‍රපටය රස විඳින්නට ලොකු පිටිවහලක් වෙන බවනම් ස්ථිරයි. මේ ක්‍රමයට විද්‍යාත්මක කරුණු චිත්‍රපටි ඇසුරෙන්ම පැහැදිලි කරන්න බලන්න. උඹට මේ අවකාශයේ යා හැකි දුර නිමක් නෑ. (අනුන්ට බණ කිව්වට මාත් මගේ හැකියාවල් යොමුකරන්නෙ නෑ අවශ්‍ය දේට)
මාත් කමෙන්ටුවට සමාන්තරව රිප්ලයි එක දාන්නෙ ඈ....
Delete//මේකනං යථාර්තයමයි.// ළඟදිම බඩු පැක් කරගන්න වෙනවා මේ යන විදිහට..
//විශ්වකර්මයෙක්!....// මධූ මෙයාගෙ ඉන්සෙප්ෂන් බලල තියෙනවද? මගේ මොළේ අවුල් වුණා ඒක බලලා, මාරම ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක්..
//අනාගතයේ මේක වෙන බව මට පැහැදිලිවම දැනෙනවා.// අනිවාර්යයෙන්ම...
//මේක ලංකාවෙත් මෑතකදි වුණා.// ඒ මොකක්ද?
//මාපිය දූදරු දැඩි සම්බන්ධතාවය.......// මධූ, මේකෙ තාත්තගෙයි දුවගෙයි බැඳීම හරිම ප්‍රබලයි. තාත්තා මෙහෙයුමට එකඟ වෙන්නෙ හරිම අකමැත්තෙන් ළමයි දෙන්න දාල යන්න බැරුව. පළවෙනි ලෝකෙ පෘථිවි අවුරුදු ගාණක් ගත වෙච්ච එක ගැන එයා සෑහෙන දුක් වෙනවා. ඒ වගේම දුව කාලයක් යනකම් තාත්තගෙ මූණවත් බලන්නෙ නෑ දාල ගිය නිසා.
//මම විමල්ගේ ජාතියේ ඇමෙරිකන් විරෝධියෙක් නෙමේ. ඒ වුණාට මානව සංහතිය බේරාගන්නනම්......// හහා ඒක නම් වෙන්න පුළුවන්.. :D
//මෙහේ ගැන දන්න දියුණු මනසක් තියෙන ජීවීන් ඉන්නවානං....// සහතික ඇත්ත... :D
//මට හිතාගත්තැකි....// ෆිල්ම් එක බැලුවම පෙනේවි.. :D
//ටර්මිනේටර් තමා මම දැකපු ඔය ගැටළුව තියෙන අනික...// ඔව් මධූ, ටර්මිනේටර් එකේ ස්කයිනෙට් වගේම කොනර් හැදෙන්නෙත් ඔහොම සිද්ධියකින්. උඩ ප්‍රා ගෙ කමෙන්ටුව බලන්න.
ඇත්තටම කිව්වොත් මාත් දරුණු චිත්‍රපටි, ටීවී සීරීස් පිස්සෙක්. හැබැයි හොලිවුඩ්වලට තමයි වැඩි බර. මම ස්ට්‍රීම් කරල බලන්නෙ නෑ එක්කො ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරනව, නැත්තන් යාළුවෙක්ගෙන් ඉල්ලගන්නව මොකද මම සමහර හිතට අල්ලන ෆිල්ම්ස් හත් අටවතාවක් බලනවා.
ඔව් R.I.P.D. බැලුවා. Rest In Peace Department. :D ඒකෙ කතාවයි, අර අමුතු මිනිස්සුයි Men in Black franchise එකට සෑහෙන්න සමානයි. Men in Black එකෙත් කාලය හරහා යෑම් තියෙනවනේ. 17 Again නම් බලල නෑ.
මේක අනිවාර්යයෙන්ම බලන්නම ඕන චිත්‍රපටියක් මධූ. තාරකා විද්‍යාව ගැන උනන්දුවක්, ආසාවක් තියෙන කෙනෙක්ව අඬවන්න පුළුවන් ෆිල්ම් එකක්. බලල එන්නකො ආපහු මේ පැත්තට..
බොහොමත්ම ස්තූතියි මධුමාධවී. (ඒකනෙ කියන්නෙ, ඔහොම්මම වෙනස් විදියක තව බ්ලොග් එකක් පටන් ගමුද? ;) )
මමත් මේක හෝල් එකට ගිහිල්ලම බැලුව. මටනම් හොඳටම අල්ලලා ගිය කොටස අර මෝස් ක්‍රමේට පණිවිඩේ එවන එක. මේ විස්තරේ සෑහෙන්න හොඳයි. මටත් නොතේරුණු සමහර තැන් තේරුම් ගත්තා.
ReplyDeleteමට හෝල් එකේ බලන්න බැරි වුණා ඒ දවස්වල විභාගෙකට ලෑස්ති වෙවී හිටියේ. ලංකාවේ ෆිල්ම් හෝල්ස් වල නම් පෙන්නුවෙත් නැද්ද කොහෙද මෙහෙ ඊට වඩා හොඳ චිත්‍රපටි තියෙනවලුනේ.
Deleteඇත්ත, ඒක හරිම නිර්මාණශීලී අදහසක්. අර අත්ඔරලෝසුව හරහානෙ මෝස් කෝඩ්ස් එවන්නෙත්.
බොහොමත්ම ස්තූතියි පැතුම්.
මාත් කැමති ෆිල්ම් එකක් .. කොපියක් .තියනවා. දෙෂලයට දෙන්න විධිහක් තමා නැත්තේ.
ReplyDeletehttp://nelumyaya.com/?p=4249
ඒක තමයි මං ගාවත් තියෙනවා, ඒ වුණාට දේශකයව ජීවිතේට මුණගැහිල නෑනෙ.
Deleteබොහොමත්ම ස්තූතියි අජිත් අයියෙ...
මමත් ඔයගැන අදහසක් ලිව්වා මේක බලන්න
ReplyDeletehttp://anthoniyo-bahijata.blogspot.com/2015/09/interstellar.html
බයවෙන්න එපා මම බුද්ධාගමේ.
වටිනා ලිපියක්. මම මගේ අදහස එතන කමෙන්ට් කළා.
Delete//බයවෙන්න එපා මම බුද්ධාගමේ.// මැවුම්වාද කොටස නේද. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. මමත් බෞද්ධ, හැබැයි ආගමික මතවාදවලට ගහමරාගන්න කෙනෙක් නෙමෙයි. යම්තාක් දුරට හේතුවාදී බෞද්ධයෙක් කිව්වොත් නිවැරදියි.
👍
ReplyDelete