Wednesday, October 30, 2013

ගමනක ආරම්භය...!

෴කෙනත් ගේ අත්දැකීම චිත්‍ර ශිල්පියෙකු ගේ ඇසින්෴
‍‍‍"මම ඒ වෙලාවේ මගේ ගුවන් යානය පදවමින් සිටියේ රේනියර් කන්ද අසල ඇති කුඩා ගමකට අඩි 2000 ක් ඉහළ අහසේ. ඊළඟ මොහොතේ මම ගුවන් යානය වටයක් කරකවා සෙමින් ඉහළට නැග්ගේ කන්ද වටා තවත් වරක් යෑමේ බලාපොරොත්තුවෙන්. අඩි 9200 මට්ටමට ඉහළ නැගීමෙන් පසු එක්වරම අතිවිශාල ආලෝකයක් මගේ ඇස් මතට වැටුනා. එක් මොහොතකට මට සිතුණේ එය මා අසලින්ම ගමන් කල යුධ ගුවන් යානයකින් පරාවර්තනය වූ ආලෝකයක් බවයි. එහෙත් ඊළඟට මට වැටහී ගියා ඒ අදහස වැරදි බව. ආලෝකය නිකුත් වෙමින් තිබුණේ උතුරින් පිහිටි බේකර් කන්ද දෙසින් ඇඩම්ස් කන්ද හරහා රේනියර් කන්ද වෙත වේගයෙන් ළඟා වෙමින් තිබුණු අමුතුම ආකාරයේ වස්තූන් 9 කින්. පැයට සැතපුම් දහස් ගණනක වේගයකින් පැමිණි මේවා දිස් වුණේ හරියටම පීරිසියක් ජලය මත ලිස්සා යන ආකාරයට." 




෴කෙනත් ආර්නල්ඩ්෴
                                                                                         ඒ ඇමෙරිකානු ව්‍යාපාරිකයෙකු හා සිවිල් ගුවන් නියමුවෙකු වූ කෙනත් ආර්නල්ඩ් 1947 දී කල ප්‍රකාශයකි. "පියාඹන පීරිසි" යන වචනය කරළියට ආවේ මෙම සිදුවීමෙන් පසුව ය. පිටසක්වළ ජීවීන් සහ අබිරහස් යානාවන් පිළිබඳ ඉතිහාසය වසර දහස් ගණනක් ඈතට දිව යන්නක් වුවද මෑත ඉතිහාසයේ මුල්ම වරට  ප‍්‍රසිද්ධියට පත් වූ සිදුවීම ලෙස මෙය සැලකේ. 1947 ජූනි 24 වන දින ආර්නල්ඩ් දුටු මෙම දර්ශනයෙන් පසු සාමාන්‍ය ජනයා මෙන්ම විද්‍යාඥයන්ද මෙම විෂයය පිළිබඳව ඉමහත් උනන්දුවක් දක්වන්නට පටන් ගත් අතර සැබැවින්ම පිටසක්වළ ජීවයක් පවතීදැයි සෙවීමට විවිධ ව්‍යාපෘතීන් ආරම්භ කෙරුණි. පෘථිවියට පැමිණි බව කියන පිටසක්වළයන් පිළිබඳව වූ කතා ප්‍රවෘත්තීන් ගෙන් පුවත්පත් පිරී ඉතිරී ගියේය.




                      
                             ෴ කෙනත් ආර්නල්ඩ් ගුවන්විදුලියට ලබාදුන් ප්‍රකාශයක්

                                                             

                                                                               එහෙත් කල් යත්ම මෙම සිදුවීම් වල තිබූ විශ්වාසනීය බව කෙමෙන් කෙමෙන් අඩු විය. ඊට ප්‍රධානතම හේතුව වූයේ ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වීම සඳහා පිටසක්වළ ජීවීන් හෝ යානාවන් දුටුවේයැයි අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන්නවුන් බිහි වීමයි. ලොව පුරා වාර්තා වූ සිද්ධීන් මිලියන ගණනක් අතරින් 95%  ක් පමණම අසත්‍ය ප්‍රචාරයන් බව මේ වන විට හෙළි වී තිබේ. මේ හේතුවෙන් වර්තමානය වන විට මෙවැනි අබිරහස් වස්තු දර්ශනය වීම් පිළිබඳව සිදු කෙරෙන විද්‍යාත්මක පර්යේෂණ ඇත්තේම නැති තරම්  වන අතර බොහෝවිට සිදුවන්නේ මාධ්‍යයන් හරහා ප්‍රචාරය වීම පමණි. මෙලෙස එක් සිදුවීමක් මාධ්‍යයන්හි පළවූ විගසම ඒ ආකාරයේම තවත් සිද්ධීන් විශාල වශයෙන් වාර්තා වීම ද සුලභ ලක්ෂණයකි. ශ්‍රි ලංකාව තුළ ද විවිධ කාල වලදී මෙවැනි අවස්ථා ඇති විය. උදාහරණ ලෙස 2002 හා 2010 කාල සීමාවන් දැක්විය හැකි ය. (මෙම කාල ප්‍රාන්තරයන් තුළදී රූපවාහිනී නාළිකාවල රැජන, භවත්‍රා ආදී පිටසක්වළ ජීවීන්ට සම්බන්ධ ටෙලිනාට්‍යයන් විකාශය වෙමින් තිබීමද කැපී පෙනෙන ලක්ෂණයකි.)


                                                                              බහුතරය අසත්‍ය සිදුවීම් වුවද තාරකා විද්‍යාඥයන්ද ප්‍රකාශ කරන පරිදි අසත්‍ය යැයි ඔප්පු කල නොහැකි වූ, පහදා දිය නොහැකි සිදුවීම් ද සුළු ප්‍රමාණයක් පවතී. මේවා බොහෝවිට එතරම් ප්‍රසිද්ධ නොවූ, හුදෙකලා සිදුවීම් ය. ඇමෙරිකානු "Project Blue Book" ව්‍යාපෘතියේ ප්‍රධානියෙකු හා මෙම ක්ෂේත්‍රයේ ඉහලම මට්ටමේ සිටි විද්වතෙකු වශයෙන් සැලකෙන මහාචාර්ය ඇලන් හයිනෙක් (1910-1986) විසින් පවසන ලද ආකාරයට පිටසක්වළ ජීවය කියා දෙයක් නැතැයි හෝ පිටසක්වළ ජීවීන් පෘථිවියට නොපැමිණෙතැයි සිතීමට තරම් අප ඉක්මන් විය යුතු නැත. සිදු කල යුත්තේ වඩාත් විද්‍යාත්මක වූ පර්යේෂණයන් ආධාරයෙන් සත්‍යය සොයා ගැනීමයි. එවිට යම් දිනෙක පිටසක්වළ ජීවයක් ඇති බව හෝ නැති බව සාක්ෂි සහිතව ඔප්පු කල හැකි වනු ඇත. එදිනට එය මානව සංහතියේ සන්ධිස්ථානයක් ද වනු ඇත.


                                                                                                                                      අද සිට ආරම්භ වන මෙම බ්ලොග් අඩවිය "නියත වශයෙන්ම වෙනත් ග්‍රහ ලෝකයන්හි ජීවය තිබේ." හෝ "නියත වශයෙන්ම පිටසක්වළ ජීවීහු පෘථිවියට පැමිණෙති." යන අදහසින් ලියැවෙන්නක් නොවේ. අපක්ෂපාතීව හා විද්‍යාත්මක ව කරුණු විමසා බැලෙන්නකි. (විශ්වය හරහා ගමන් කරන සමහර ග්‍රහකයන්හි ක්ෂුද්‍ර ජීවීන් වාසය කරන බව මේ වනවිට සොයාගෙන ඇති බවද සඳහන් කල යුතුය.) 'පිටසක්වළ ජීවය' නමැති ක්ෂේත්‍රය ට සබැඳි බොහෝ විද්‍යාත්මක සොයාගැනීම්, සිදුවීම්, ස්ථානයන් ආදිය පිළිබඳව මින් ඉදිරියට මෙමඟින් සාකච්ඡා කෙරෙනු ඇත.


එක් වන්න... මන්දාකිණියෙන් ඔබ්බට පිය නගන්නට.....

5 comments:

  1. ජයවේවා!!!!!!!දිගටම ලියන්න. මා එතරම් රුචි විෂයක් නොවුනත්...කැමැති අය බොහෝ ඇති.

    ReplyDelete
  2. කියවන්න ආස හිතෙන විදියට ලියලා තියෙනවා.. සුභ පැතුම්!!!

    ReplyDelete
  3. පට්ට බන්.මම ආසම විශය තමයි❤️❤️

    ReplyDelete

සංවාදයට විවෘතයි.

Related Posts Plugin for WordPress, Blogger...