Saturday, November 30, 2013

පියාඹන පීරිසි..??? |දෙවන කොටස|

"අමුතුම හැඩයකින් යුතු වස්තූන් කිහිපයක් ඉහළ අහසේ ගමන් ගනිමින් තිබුණා. මේවා අධික වේගයකින් ගමන් කළත් කිසිදු ශබ්දයක් නිකුත් වූයේ නැහැ."

"මගේ ගුවන් යානය පසුපස අති දීප්තිමත් ගෝලාකාර ආලෝකයක් හඹා එමින් තිබුණා. විනාඩි කිහිපයක් පුරාවට ගුවන් යානය ඉලක්ක කරගෙනම පැමිණි මේ අභිරහස් ආලෝකය ඊළඟ මොහොතේදී අතුරුදන් වුණා."

"දහවල් කාලයකදී මෙන් හාත්පස ඒකාලෝක කරමින් විශාල යානයක් ගෙවත්තේ නවතා තිබුණා. එක්වරම ඉන් පිටතට ඇරුණු දොරක් වැනි යමකින් මා කිසිදාක දැක නොමැති ආකාරයේ ජීවීන් කිහිප දෙනෙක් එළියට පැමිණියා."





                                                                                              ඉහත දැක්වෙන්නේ පිටසක්වළ යානා දර්ශනය වූයේ යයි කියනු ලබන බොහෝ දෙනෙකුට පොදු වූ සිදුවීම් ආකාර කිහිපයකි. මෙවැනි සිද්ධීන් සෑම දිනකම පාහේ ලොව පුරා නන් දෙසින් වාර්තා වෙයි. එහෙත් මිලියන ගණනක් වන මෙවන් වාර්තාවන්ගෙන් සත්‍ය වශයෙන්ම හඳුනා නොගත් පියාසර වස්තු දර්ශනය වීම් ලෙස සැලකිය හැක්කේ 5% ක පමණ සුළු ප්‍රතිශතයකි. ඉතිරි 95% ක් පමණ වන බහුතරය සම්පූර්ණ අසත්‍ය යැයි ඔප්පු කළ හැකි වන අතර ඒවා පහත ආකාරයට වර්ගීකරණය කළ හැකිය.








වංචනික ක්‍රියා

෴ඇඩම්ස්කිගේ 'වැකියුම් ක්ලීනර්' පියාඹන පීරිසිය෴


                                                මෑත ඉතිහාසය පිරික්සා බලන විට පෙනී යන්නේ මෙලෙස තමන් සැබැවින්ම අත් නොවිඳි දෙයක් අත් වින්දේ යයි අසත්‍යයක් ප්‍රකාශ කිරීමේ ප්‍රධානම අරමුණ තමන් ජනප්‍රිය වීම බවයි. (මේ හැර විවිධ මානසික රෝගී තත්ත්ව නිසා මෙවැනි ප්‍රකාශ සිදු කරන අයද සිටිති.) ඔවුන්ගේ එම අරමුණ ඉටු කර දීමට සමත්, නිසි වගකීමකින් තොර ජනමාධ්‍ය එදා මෙන්ම අදත් තිබේ. එනිසාම මෙවැනි වංචනික ක්‍රියාවන් දිගින් දිගටම සිදු වේ. පිටසක්වළ යානා හෝ ජීවීන් දුටුවේය, ඔවුන් සමග සබඳතා පැවැත්වූවේය යනුවෙන් අසත්‍ය ප්‍රකාශයන් කරමින් ලෝක ප්‍රසිද්ධ වූවන් බොහෝය. මොවුන් එය ඔප්පු කිරීමට වංචනිකව සකසන ලද ඡායාරූප, වීඩියෝ පට පමණක් නොව සාක්ෂිකරුවන් පවා ඉදිරිපත් කිරීමට පසුබට නොවෙති. සාමාන්‍ය ජනයාට පමණක් නොව විද්වතුන්ටද මෙම ක්ෂේත්‍රය පිළිබඳව ඇති දැනුම සීමිත වන බැවින් එවැනි වංචාවන් හසු වන්නේද බොහෝ කලාතුරකිනි. එහෙත් එලෙස හසු වූ අවස්ථාද නැත්තේ නොවේ. සමහරුන් විසින් "යුගයේ වංචාකාරයා" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන, 1950 දශකයේදී ලොවම සංත්‍රාසයට පත් කළ ඇමෙරිකානු ජාතික ජෝර්ජ් ඇඩම්ස්කි උදාහරණයක් ලෙස දැක්විය හැක. මොහු, තමා පිටසක්වළ ජීවීන් සමග සම්බන්ධතා පවත්වන්නේ යැයි කීමෙන් නොනැවතී 1953 දී "Flying Saucers Have Landed" නමින් ග්‍රන්ථයක්ද ලියා පළ කළේය. එකල සෑම දිනකම වාගේ ඔහුගේ අදහසක් හෝ සම්මුඛ සාකච්ඡාවක් ජනමාධ්‍යයක පළ විය. පසු කලෙක ඔහු මහා වංචාකරුවෙකු බව හෙළි වූයේ ඔහු විසින් ඉදිරිපත් කරන ලද පියාඹන පීරිසි ඡායාරූප වල තිබුණේ වැකියුම් ක්ලීනරයක කොටස් බව හඳුනා ගැනීමෙනි! මෙලෙස සිදු කෙරෙන සාවද්‍ය ප්‍රකාශයන්, ඡායාරූප ආදිය වර්තමානයේද සුලබ ලෙස හමු වේ. කෙසේ වතුදු මෙවන් ක්‍රියාවන් නිසා සැබෑ ලෙසම සත්‍යය සොයා ගැනීමට වෙර දරන්නන්ට සිදු වන හානිකර බලපෑම අතිමහත්ය.

වරදවා වටහා ගැනීම්   

෴බාසුරු වළාකුළු෴
                                                                                                               සාපේක්ෂව බලන විට වැඩි අසත්‍ය වාර්තා ප්‍රමාණයක් මෙලෙස වෙනත් යමකට රැවටුණු අවස්ථා බව පෙනේ. මෙම වරදවා වටහා ගැනීම් වලට ස්වභාවධර්මයේ මෙන්ම මිනිසාගේද සමහර නිර්මාණයන් හෝ ක්‍රියාකාරකම් බලපායි. අහසේ හටගන්නා "බාසුරු වළාකුළු" (Lenticular Clouds) ඕනෑම අයෙකු පහසුවෙන් නොමග යැවීමට සමත් ස්වභාවික නිර්මාණයකි. මේවා බොහෝවිට අතිවිශාල පියාඹන පීරිසියක හැඩයට දිස් වේ. (ඡායාරූපය බලන්න.) එමෙන්ම රාත්‍රී කාලයකදී නම් බොහෝ අය වල්ගාතරු, පෘථිවි වායුගෝලය හරහා ගමන් ගන්නා උල්කාපාත මෙන්ම ග්‍රහලෝකද පිටසක්වළ යානා ලෙස වරදවා වටහා ගනිති. සමහර ගුවන් යානා නියමුවන් හා ගුවන් මගීන් ඉදිරිපත් කර ඇති වාර්තා සාපේක්ෂ චලිතය පිළිබඳව නොදැනුවත්කමින් වෙනත් ආකාශ වස්තූන් වලට රැවටුණු අවස්ථා බව හඳුනාගෙන තිබේ. (සියල්ලම නොවේ.) ඉතා කලාතුරකින් ඇති වන හා පොළොව මට්ටමේ ඒ මේ අත පාවෙමින් අත්භූත හැසිරීම් රටාවක් දක්වන "බෝල අකුණු" (Ball Lightning) නම් අකුණු විශේෂයද යමෙක් භීතියට පත් කළ හැකි, ස්වභාවධර්මයේ අසිරිමත් නිර්මාණයකි. (මෙම අකුණු ස්ථිති විද්‍යුත් ආකර්ෂක වන බැවින් මිනිසුන් හෝ සතුන් පසුපස හඹායෑම් ද සිදු විය හැකි බව සොයාගෙන තිබේ.) මෙලෙසම මිනිසා විසින් නිර්මාණය කර ඉහළ අහසට යවනු ලබන වායු බැලූන, කෘතිම චන්ද්‍රිකා, රොකට් යානා හා ජෙට් යානා වැනි වස්තූන්ද බහුලව පිටසක්වළ යානා ලෙස වරදවා වටහා ගැනේ.

                                                                                               
෴මිරිඟුව නිසා මෙවැනි ප්‍රතිබිම්බයන් අහසේ දිස් විය හැක෴
                                                                                                                                       මෙවැනි භෞතික සාධක වලට අමතරව ඊට වඩා සංකීර්ණ, විද්‍යාත්මකව පැහැදිලි කළ යුතු ආචරණයන් කිහිපයක් නිසාද මිනිස් ඇස මෙයාකාර රැවටීම් වලට භාජනය විය හැකිය. සුලබතම උදාහරණය වනුයේ ආලෝක වර්තනය යි. ආලෝකය එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට ගමන් කිරීමේදී එය හැරීමකට ලක් වීම වර්තනය ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. බොහෝ අවස්ථාවන් වලදී වායුගෝලය තුළ වෙන් වෙන්ව උණුසුම් හා සිසිල් වායු තීරු හට ගනී. මේවා එකිනෙකට වෙනස් මාධ්‍ය ලෙස ක්‍රියා කරමින් (උණුසුම් වායු තීරු වල ඝනත්වය අඩුය.) ආලෝකය වර්තනය කරයි. (මිරිඟුව ඇති වන්නේද මෙම සංසිද්ධිය නිසාවෙනි.) මේ හේතුවෙන් ඕනෑම අයෙකුට පොළොව මත ඇති යම් වස්තුවක හෝ ආලෝකයක පැහැදිලි ප්‍රතිබිම්බයක් ඉහළ අහසේ දර්ශනය විය හැකිය. (රූපය බලන්න.) යම් අවස්ථා වල පිටසක්වළ යානා ලෙස අහසේ දිස් වුණු එළි අදාළ ස්ථානයට සැතපුම් සිය ගණනක් දුරින් පිහිටි මාර්ගයන්හි ‍ගමන් ගත් වාහන වල ආලෝක ධාරා වල ප්‍රතිබිම්බ බව හඳුනාගෙන තිබේ. "පසුරූ ආචරණය" (After Image Effect) හා "ස්වයං චාලක ආචරණය" (Auto Kinetic Effect) නිසාද මිනිසා වෙනත් වස්තූන් පිටසක්වළ යානා ලෙස වරදවා වටහා ගනී. ඔබ ඉතා දීප්තිමත් වස්තුවක් හෝ ආලෝකයක් දෙස බලා හිඳ එක්වරම ඉවත බැලුවහොත් ස්වල්ප වේලාවක් ගත වන තුරු ඔබට යම් හැඩයක අඳුරු ලපයක් දර්ශනය වනු ඇත. මෙය "පසුරුව" නම් වේ. යම් කුඩා ආලෝක පුංජයක් දෙස බොහෝ වේලාවක් බලා සිටින විට එම ආලෝකය චලනය වන්නා සේ දිස්වීම ස්වයං චාලක ආචරණය යි. සෑම මිනිස් ඇසකටම පොදු මෙවන් දෘෂ්ටි මායාවන් නිසා ඕනෑම අවස්ථාවකදී ඕනෑම පුද්ගලයෙකු 'පිටසක්වළ යානයක්' දැකිය හැකිය.



෴මිනිස් ඇස රැවටිය හැකි දෘෂ්ටි මායාමය රූපසටහනක්෴
     
                                                 අභිරහස් වස්තු දර්ශනය වීම් වලින් අති බහුතරය උක්ත හේතූන් මත පදනම් වූ අසත්‍යයන් වුවද, පෙර සඳහන් කළ පරිදි විද්‍යාඥයන්ටද වටහා ගත නොහැකි, පැහැදිලි කළ නොහැකි සිදුවීම් අතළොස්සක් ද පවතී. ඒවා ඉහත හේතූන් මගින් අසත්‍ය යැයි ඔප්පු කළ නොහැක. එසේනම් සැබැවින්ම පිටසක්වළයින් පෘථිවියට පැමිණෙනවාද? පළමු කොටසේ අවසානයේදී ද සඳහන් කළෙමි. පිළිතුර ඇත්තේ අනාගතයේ ය!

No comments:

Post a Comment

සංවාදයට විවෘතයි.

Related Posts Plugin for WordPress, Blogger...