Wednesday, April 9, 2014

සැබැවින්ම පිටසක්වළ ජීවයක් පැවතිය නොහැකිද?

අද වනවිට ඉතාමත් ජනප්‍රිය විෂය ක්ෂේත්‍රයක් වී ඇති පිටසක්වළ ජීවය පිළිබඳව හැදෑරීම මිනිසුන් තුළ ඇති කර ඇත්තේ නොසන්සිඳෙන කුතුහලයකි. එමෙන්ම මෙය නවතම සිද්ධි වාර්තා වීම්, නව සොයා ගැනීම්, උණුසුම් මතවාද හා තර්ක විතර්ක මගින් නිරන්තරව යාවත්කාලීන වන විෂයයක් බවට පත් වී ඇත. 20 වන ශතවර්ෂයේ සිට වර්තමානය දක්වාම විද්‍යාඥයන් විසින් විවිධාකාර තාක්ෂණික මෙවලම් යොදා ගනිමින් විවිධ ආකාරයේ පර්යේෂණ කර ඇතත් තවමත් මෙම පිටසක්වළ ජීවීන් පිළිබඳව කිසිදු පැහැදිලි තොරතුරක් සොයා ගත නොහැකි වී තිබීම එක් අතකින් පුදුමයට කරුණකි.
වර්ෂයේ දින 365 පුරාම ක්‍රියාත්මක වන පර්යේෂණ ව්‍යාපෘති එමටය. දවසේ පැය 24 පුරාම පිටසක්වළ ජීවීන් පිළිබඳව තොරතුරක් ලබා ගැනීමට හෝ ඔවුන් සමග සන්නිවේදනයේ යෙදීමට අහස දෙසට යොමු වී ඇති අති ප්‍රබල දුරේක්ෂ හා වෙනත් නවීන සන්නිවේදන උපකරණ ප්‍රමාණය නොගිණිය හැකි තරම් ය. එහෙත් මේ වන තෙක් පිටසක්වළ ජීවීන් සිටින බව හෝ ඔවුන් පෘථිවියේ සැරිසරමින් එය අධ්‍යයනය කරන බව හෝ සනාථ කරන විද්‍යාත්මක තොරතුරක් ලබා ගත හැකි වී නැත. නමුත් එසේ වූ පමණින් මෙය මිථ්‍යාවකැයි සලකා සම්පූර්ණයෙන්ම බැහැර කිරීමද කළ නොහැක්කකි. විද්‍යාත්මකව ඔප්පු කර ගැනීමට අපොහොසත් වුවද පහසුවෙන් ඉවත දැමිය නොහැකි ප්‍රබල සාධක බොහෝ ය.



විශ්වය යනු අපට සිතා ගැනීමටවත් නොහැකි ආකාරයේ අතිවිශාල වූත්, විශ්මයජනක වූත් ස්ථානයකි. විශ්වය විසින් සඟවා ගෙන සිටින අබිරහස් ප්‍රමාණය මෙතෙකැයි කිව නොහැක. මිනිසා විසින් විශ්වය පිළිබඳව සොයා ගෙන ඇති ප්‍රමාණය, තවමත් ගවේෂණය නොකළ ප්‍රමාණය හා සසඳන විට මහා සාගරයකින් ගත් දිය බිඳුවක් වැනිය. එබැවින් මිනිසා සතුව ඇති අල්පමාත්‍ර වූ තාක්ෂණය පිළිබඳව අධිතක්සේරුවක් තබා ගෙන මිනිසා හැර වෙනත් කිසිදු ජීවියෙක් විශ්වය තුළ බිහි විය නොහැකි යයිද, විශ්වයේ සිටින බුද්ධිමත්ම ජීවී කොට්ඨාශය මිනිසා යයිද සැලකීම හාස්‍යයට කරුණකි. කිසිවිටෙකත් මුළුමහත් විශ්වය සුළු කොට තැකිය යුතු නැත.

අප ජීවත් වන පෘථිවිය යනු ප්‍රධාන ග්‍රහලෝක 8 කින්, වාමන ග්‍රහලෝක 4 කින් හා චන්ද්‍රයන්, ග්‍රහක ආදී ආකාශ වස්තු මිලියන ගණනකින් සමන්විත, එක් තරුවක් මධ්‍යගතව පිහිටා ඇති සෞරග්‍රහමණ්ඩලයක 3 වන ග්‍රහලෝකය යි. දැනට කර ඇති සොයා ගැනීම් අනුව සෞරග්‍රහමණ්ඩලයේ ජීවය පවතින එකම ග්‍රහලොව වන්නේ ද පෘථිවිය යි. මීට පෙර අඟහරු ග්‍රහයා මත ද ජීවය ඇතැයි විශ්වාස කෙරුණද, තවමත් ඒ පිළිබඳව පිළි ගත හැකි සාක්ෂි ලැබී නොමැත. මේ වනවිටද ඇමෙරිකාව පෙරටු කොට ගත් රුසියාව, චීනය ආදී රටවල අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයන් අඟහරුගේ ජීවය පිළිබඳව පර්යේෂණ කරමින් පවතී. අඟහරු වටා කක්ෂගතව ඇති නිරීක්ෂණ යානා හා අඟහරු මතට ගොඩ බැස දත්ත එකතු කරමින් සිටින අධි තාක්ෂණික රෝවර් යානා සංඛ්‍යාව ගණනින් පනහද ඉක්මවයි. අඟහරු මත අතීතයේ ජල මාර්ග හා මුහුදු තිබුණු බව ද, තවමත් ඒවායේ නෂ්ටාවශේෂ හා මිදුණු ජලය එහි ඇති බව ද පර්යේෂණයන් මගින් තහවුරු වී ඇති නිසා සමහරවිට අතීතයේදී අඟහරු මත යම් ජීවයක් තිබෙන්නට ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කළද, වර්තමානයේ ජීවයක් පවතී යැයි පිළිගැනීමට තරම් විද්‍යාත්මක සාක්ෂි තවමත් හමු වී නැත. ඊට අමතරව බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් දෙදෙනෙකු වන යුරෝපා හා ගැනිමීඩ් තුළ ද, සෙනසුරුගේ චන්ද්‍රයෙකු වන එන්සෙලඩස් තුළද ජීවය ඇතැයි මත පැවතියද ඒවා තවමත් පර්යේෂණයන්ට ලක් කර නැත. මේ අනුව සලකා බලන විට අප සෞරග්‍රහමණ්ඩලය තුළ ජීවය ඇති එකම ග්‍රහලෝකය ලෙස දැනට සැලකෙන්නේ පෘථිවිය යි.

යම් ග්‍රහලෝකයක් තුළ ජීවයක් බිහි වීමට නම් එහි ජීවයට හිතකර පරිසරයක් සහ වෙනත් මූලික අවශ්‍යතා තිබිය යුතුය. පෘථිවිය තුළදී නම්, පෘථිවි ජීවීන්ට ශ්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් (නයිට්‍රජන් ශ්වසනය කරන හා කිසිදු වායුවක් ශ්වසනය නොකරන ක්ෂුද්‍ර ජීවීන් ද සිටිති.), ආහාර, අභ්‍යවකාශයෙන් එල්ල වන අනතුරු මැඩීමට සමත් වායුගෝලයක් ආදී සාධක තිබීම නිසා ජීවයක් ඇති විය. මේ පෘථිවි ජීවීන් යැපෙන්නේ තමන් නිර්මාණය වූ හා පරිණාමනයට ලක් වූ පරිසරයේ ඇති ද්‍රව්‍යයන් හා ගුණයන් උපකාරී කර ගනිමිනි. ඊට වෙනස් ගුණ දරන පරිසරයක පෘථිවි ජීවීන්ට ජීවත් විය නොහැක. මෙලෙසම අනෙකුත් ලෝකයන් ගැනද සිතුවහොත් ඒ ඒ ලෝක වලට අදාළ විවිධාකාර පරිසර සාධක වලට අනුකූලව විවිධාකාර ජීවීන් බිහි විය නොහැකිද? මිනිසාගේ හා බොහොමයක් සතුන්ගේ ප්‍රධාන ජීව අවශ්‍යතාව ඔක්සිජන් වූ පළියට වෙනත් ලෝක වල ජීවීන්ගේ ප්‍රධාන ජීව අවශ්‍යතාවද ඔක්සිජන්ම විය යුතුද? වෙනත් වායුවක් උපකාරයෙන් හෝ වායුවක් නැතිවම වුවද වෙනස් ජීව විශේෂයක් බිහි වී පරිණාමනය විය නොහැකි ද? පෙරද සඳහන් කළ පරිදි සිතා ගැනීමටවත් අපහසු තරම් අතිදැවැන්ත වූ විශ්වය තුළ පෘථිවිය මෙන් ජීවයෙන් පරිපූර්ණ වූ තවත් බොහෝ ලෝකයන් තිබිය හැකිය. ඒවායේ ඔක්සිජන් හා ජලයෙන් යැපෙන මානවරූපීන් මෙන්ම වෙනස්ම වූ, අනුමාන කිරීමටවත් නොහැකි ද්‍රව්‍යයන් තම ජීව මාධ්‍යය කර ගත්, අමුතුම හැසිරීම් රටාවන්ගෙන් හා හැකියාවන්ගෙන් යුතු මිලියන ගණනක් ජීව විශේෂ පැවතිය හැකිය. බොහෝවිට විද්‍යා ප්‍රබන්ධයන්හි මෙවැනි ජීවීන් දක්නට ලැබේ. උදාහරණ ගතහොත්, ලොව පුරා ඉමහත් ජනාදරයට පත් වූ Transformers චිත්‍රපට මාලාවේ පිටසක්වළ ජීවීන් නිර්මාණය වී ඇත්තේ ලෝහ වලිනි. ලෝක පූජිත X-Files කතා මාලාවේ එක් කතාංගයක අඟහරු ලෝකයේ වෙසෙන, සිරුරු රහිත (මනස පමණක් ඇති) ජීව කොට්ඨාශයක් පිළිබඳව සාකච්ඡා කෙරෙයි. ආතර් සී. ක්ලාක් මහතාණන්ගේ 2001, 2010, 2061 හා 3001 සිව් ඈඳුතු නවකතාවේද සිටින්නේ එවැනිම සිරුරු රහිත ජීව විශේෂයකි.

විවිධ ග්‍රහලෝක වල විවිධ ජීවීන් සම්භවය වීම ගුරුත්වාකර්ෂණය අනුවද පැහැදිලි කළ හැක. ගුරුත්වාකර්ෂණය ඉතා ඉහළ වූ ග්‍රහලෝකයන්හි ජීවයක් ඇති වන්නේ නම් බොහෝවිට එම ජීවීන් සියල්ලම පාහේ ජලජ ජීවීන් විය හැකිය. ගුරුත්වාකර්ෂණය වැඩි වන විට ජීවියා දරා ගත යුතු තම ශරීර බර ප්‍රමාණයද වැඩි වේ. (ස්කන්ධය නියත වුවද බර රඳා පවතින්නේ ගුරුත්ව බලය මත ය.) එහෙත් ජලය හෝ යම් තරලයක් තුළදී තරලය මගින් ඇති කරන උඩුකුරු තෙරපුම් බලය නිසා දරා ගත යුතු බර ප්‍රමාණය අඩු වේ. එනිසා එම ලෝකයේ ජීවීන් ගොඩබිමට නොපැමිණ ජලය හෝ අදාළ ලෝකයේ ඇති තරලයක් තම වාසස්ථානය ලෙස තෝරා ගනු ඇත. එම ජීවීන්ද, ශාකද උසින් ඉතා අඩු, පෘෂ්ඨෝදරීය පැතලි ස්වරූපයකින් යුතු වනු ඇත. අනෙක් අතට ගුරුත්වය ඉතා අඩු ග්‍රහලොවක උපදින ජීවීන් බහුතරයක් අහසේ පියාසර කරන්නන් වනු ඇත. එමෙන්ම සෑම ජීවියෙකුම දිගු ගාත්‍රා හා ග්‍රීවයන් සහිත උසින් වැඩි සත්ත්වයන් බවට පරිණාමනය වනු ඇත.

මේ සියල්ලම සමග අප වටහා ගත යුතු එක් කරුණක් තිබේ. විශ්වයේ තිබෙන එකම ජීවී ග්‍රහලෝකය පෘථිවිය යැයිද, විශ්වයේ බුද්ධිමත්ම ජීවියා මිනිසා යැයිද සිතීමට තරම් අප ඉක්මන් විය යුතු නැත.    

7 comments:

  1. //මිනිසාගේ හා බොහොමයක් සතුන්ගේ ප්‍රධාන ජීව අවශ්‍යතාව ඔක්සිජන් වූ පළියට වෙනත් ලෝක වල ජීවීන්ගේ ප්‍රධාන ජීව අවශ්‍යතාවද ඔක්සිජන්ම විය යුතුද? වෙනත් වායුවක් උපකාරයෙන් හෝ වායුවක් නැතිවම වුවද වෙනස් ජීව විශේෂයක් බිහි වී පරිණාමනය විය නොහැකි ද? //

    කවුරු පිළිගත්තත් නැතත් මෙම ප්‍රකාශය සමග සියයට සියයක් ම එකඟ වෙමි..

    ReplyDelete
    Replies
    1. අප බලාපොරොත්තු වන්නා අපට අදහා ගත නොහැකි අයෙකු වීමට ඉඩ තිබේ.. :)

      Delete
  2. //මේ සියල්ලම සමග අප වටහා ගත යුතු එක් කරුණක් තිබේ. විශ්වයේ තිබෙන එකම ජීවී ග්‍රහලෝකය පෘථිවිය යැයිද, විශ්වයේ බුද්ධිමත්ම ජීවියා මිනිසා යැයිද සිතීමට තරම් අප ඉක්මන් විය යුතු නැත. //

    ඒක සහතික ඇත්ත.. ඔවුන් අපිට වැඩිය බුද්ධිමත්.. නියමිත කාලය ආවම ඔවුන් අපිව හොයාගෙන ඒවි.. එතකන් ඉතින් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඇත๞ත. :)
      අපට ඔවුන් සොයාගෙන යන්න පුළුවන් තාක්ෂණයක් තව අවුරුදු 20 කදීවත් ලබා ගන්න බැහැ..

      Delete

සංවාදයට විවෘතයි.

Related Posts Plugin for WordPress, Blogger...