Tuesday, November 12, 2013

පියාඹන පීරිසි..??? |පළමු කොටස|

අද වනවිට ඕනෑම පුද්ගලයෙකු, "පියාඹන පීරිසියක්" යැයි කියූ පමණින් මේ කතා කරන්නේ කුමක් ගැනදැයි වටහා ගැනීමට තරම් මෙම වචනය ප්‍රචලිත වී තිබේ. එහෙත් වඩාත් හොඳින් විමසා බැලුවහොත් මෙම වචනය යෙදීම යම් පමණකට දෝෂසහගත බව පෙනී යනු ඇත. මුල් ලිපියේ ද සඳහන් වී ඇති ආකාරයට "පියාඹන පීරිසි" යන වදන බිහිවූයේ 1947 දී කෙනත් ආර්නල්ඩ් කළ ප්‍රකාශයක් හරහාය. නමුත් මේ  වනවිට ලොව පුරා විවිධ ස්ථානයන්ගෙන් වාර්තා වී ඇති සිදුවීම් වලින් 'පීරිසියක්' හැඩැති වස්තූන් පිළිබඳව වාර්තා වන්නේ (ඒවා සත්‍ය ද, අසත්‍ය ද යන්න වෙනමම සාකච්ඡා කළයුතු මාතෘකාවකි.) අල්ප වශයෙනි. ඒ අනුව අප වටහා ගත යුත්තේ පියාඹන පීරිසි යනු වාර්තාගත සිද්ධීන් සමුදායක් අතර ඇති උප කොට්ඨාශයක් පමණක් වන බවයි.
(මෙලෙස ප්‍රධාන කුලකය හැඳින්වීමට එහිම උපකුලකයක නමක් යොදා ගැනීම ඕනෑම සමාජයක දැකිය හැකි පොදු ලක්ෂණයකි. උදාහරණ ලෙස ලාංකිකයන් බහුතරයක් සෑම snack වර්ගයකටම "Tipitip" යයි කීම හා සෑම SUV වර්ගයේ රථයකටම"Jeep" යයි කීම පෙන්වා දිය හැකිය.)

                                                                                                                  කෙසේ වතුදු "පියාඹන පීරිසි" යන වදනට වඩා විද්‍යාත්මකව නිවැරදි හා පොදුවේ යොදාගත හැකි නාමය "හඳුනා නොගත් පියාසර වස්තු" (UFO - Unidentified Flying Objects) වේ. අහසේ ගමන් කරමින් හෝ නිශ්චලව තිබෙන, පැහැදිලිව හඳුනා ගත නොහැකි වස්තුවක් හෝ දීප්තිමත් ආලෝකයක් (විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී) හඳුනා නොගත් පියාසර වස්තුවක් ලෙස සරලව දැක්විය හැක. මේවා පියෙවි ඇසට මෙන්ම රේඩාර් ආදී තාක්ෂණික උපකරණ වලටද දර්ශනය විය හැකිය.


 මෙතෙක් වාර්තා වී ඇති සමස්ත සිදුවීම් ප්‍රමාණය එකිනෙක හා සසඳා බලන විට තනි වස්තුවක් හෝ ආලෝකයක් දර්ශනය වීමට වඩා වස්තු හෝ ආලෝක එළි සමූහයක් දර්ශනය වීමේ ප්‍රතිශතය ඉහළ බව පෙනී යයි. දහවල් කාලයේ දුටු වස්තූන් පෙර සඳහන් කළ පරිදි පීරිසියක හැඩයෙන් මෙන්ම බිත්තරයක, දිගු බටයක, තැටියක, පිරමීඩයක, ගෝලයක ආදී විවිධ හැඩයන්ගෙන් දර්ශනය වී තිබේ. රාත්‍රී කාලයේදී දර්ශනය වුණු එළි වලින් බහුතරයක් තනි වර්ණයක දීප්තිමත් ආලෝකයක් (බොහෝ විට සුදු, කහ, රතු සහ තැඹිලි) ලෙස පෙනී ඇති අතර, සමහරක් විවිධ වර්ණයන්ගෙන් යුතුව හෝ  නිවෙමින් දැල්වෙන ආලෝක පුංජයන් ලෙසින් දර්ශනය වී තිබේ. අහසේ ගමන් කරමින් තිබියදී දක්නට ලැබුණු වස්තූන් ගෙන් 97%ක් පමණම ශබ්දයේ වේගය (තත්පරයට මීටර් 330) ඉක්මවා යන වේගයකින් ගමන් කරද්දී ඉනුත් සමහරක් මේ වනවිට පෘථිවියේ නිපදවා ඇති කිසිදු යානයකට අත් කරගත නොහැකි තරමේ අධික වේගයකින් ගමන් කොට ඇත. මෙවැනි සමහර දර්ශනය වීම් වල ඇති ආකර්ෂණීයම ලක්ෂණයක් වන්නේ අදාළ වස්තුව හෝ වස්තූන් ඉහත සඳහන් කළ ආකාරයේ අධි වේගයකින් පැමිණ එක්වරම, මිලි තත්පර (තත්පරයෙන් 1000න් පංගුවක් = මිලි තත්පර 1) කිහිපයක් ඇතුලත අංශක 180කින් පමණ හැරී ප්‍රතිවිරුද්ධ දිශාවට පෙර වේගයෙන්ම ගමන් කිරීමයි. පෘථිවි වාසීන් වන අපට නම් මෙය අදහාගත නොහැකි දෙයකි. පෘථිවියේ නිෂ්පාදනය කර ඇති ගුවන් යානා වලට පමණක් නොව අභ්‍යවකාශ යානා වලට වත් අඩුම තරමේ තත්පර කිහිපයකදී වත් අංශක 180කින් හැරීමට නොහැක. ඒ සඳහා යානය වෘත්තාකාර මාර්ගයක රැගෙන යා යුතු අතර සමහර විට මිනිත්තු කිහිපයක් වුවද ගත විය හැකිය. පෘථිවි ගුරුත්වාකර්ෂණයට එරෙහිව යාමට හෝ එය පාලනය කිරීමට නොහැකි මිනිසාට ඉහත ආකාරයට අහසේදී අධික වේගයකින් ගොස් එක්වරම නැවතී, ආපසු හැරී අධික වේගයකීන්ම විරුද්ධ අතට යාම සිහිනයක් පමණි. ඒ සිහිනය සැබෑ කරගැනීමට නම් ගුරුත්වාකර්ෂණ බල රේඛා කපා ගෙන ගමන් කිරීමට හැකි ආකාරයේ තාක්ෂණයක් තිබිය යුතුය. දැනට මානව භෞතික විද්‍යාව පවතින මට්ටම අනුව නම් එවැනි තාක්ෂණයක් සොයා ගත හැකි ආකාරයක් පෙනෙන තෙක් මානයක නොමැත. එසේ නම්, මෙලෙස දර්ශනය වන්නේ සත්‍ය වශයෙන්ම පෘථිවියට පැමිණෙන පිටසක්වළ යානා නම්, එම ජීවීන් පැහැදිලිවම මිනිසාට වඩා දියුණු, බුද්ධිමත් ජීවී කොට්ඨාශයක් බව පිළි ගැනීමට අපට සිදු වේ. පෘථිවි භෞතික විද්‍යාවේ මූලික අරටු බඳු වූ නිව්ටන් නියම සහ අයින්ස්ටයින් නියම මොවුන් දැනටමත්‍ ඉක්මවා ගොසිනි. මිනිසාට අභ්‍යවකාශය තරණය කිරීමේදී ඇති වන ආයු කාලය, වේගය, ඉන්ධන ආදී විශාල බාධකයන් මොවුන් විසින් ජය ගෙන තිබේ. (සූර්යයා හැරුණු කොට පෘථිවියට ආසන්නතම තාරකාව වන ප්‍රො‍ක්සිමා සෙන්ටෝරි තාරකාව වෙත යාමට මිනිසා මෙතෙක් නිපදවා ඇති වේගවත්ම යානය වන Voyager 1 යානයට වර්ෂ 70,000ක පමණ කාලයක් ගත වේ!)







                                                                                                                       

                                                                                           කෙසේ හෝ මෙහිදී ඇති වන වැදගත්ම ප්‍රශ්නය වනුයේ මෙලෙස දිස් වන්නේ ඇත්තෙන්ම පිටසක්වළ යානාමද යන්නයි. පෙර ලිපියේද පළ කළ පරිදි මින් බහුතරයක් වංචනික මවාපෑම් සහ වෙනත් ආකාශ වස්තූන් වලට රැවටුණු අවස්ථාවන් වුවද, තවමත් පහදා දිය නොහැකි වූ සිදුවීම්ද පවතී. එමෙන්ම මා හට මුල් කාලයේ සිටම ඇති වූ ගැටළුවක් වන්නේ, ඉහත පළමු ඡේදයේ සඳහන් කළ ආකාරයට ඇත්ත වශයෙන්ම විවිධාකාර හැඩැති යානා පෘථිවියට පැමිණෙන්නේ නම් ඒ යානා සියල්ල එකම පිටස්තර ලෝකයකින් එන විවිධ හැඩැති යානාද? (පෘථිවියේ රොකට් යානා සහ අභ්‍යවකාශ ෂටල වැනි), නැතිනම් පෘථිවිය වෙනත් ලෝක කිහිපයකම අවධානයට ලක් වී ඇත්ද යන්නයි! අවාසනාවකට මේ කිසිදු පැනයකට පිළිතුරු අප සතුව නැත. ඒ පිළිතුරු සියල්ලම තවමත් ඇත්තේ අනාගතයේ ය.





2 comments:

සංවාදයට විවෘතයි.

Related Posts Plugin for WordPress, Blogger...