Saturday, December 21, 2013

හඳුනා නොගත් පියාසර වස්තු සම්බන්ධ පර්යේෂණ ව්‍යාපෘති

෴සයින් ව්‍යාපෘති කමිටුව෴
                                    පිටසක්වළ ජීවය පිළිබඳව මිනිසා සිත යොමන්නට පටන් ගත්තේ ඈත අතීතයේ සිටම වුවද, එය උන්මාදයක් වන තරමටම පැතිරී ගියේ 1950 දශකයේ මුල් භාගයේ සිටය. එම කාල වකවානුවේදීම මෙවැනි සිදුවීම් විශ්ලේෂණය කිරීම සඳහා විවිධ පර්යේෂණ ව්‍යාපෘතීන් ආරම්භ කෙරුණි. මින් බහුතරයක් ඇමෙරිකාවේදී ක්‍රියාත්මක කෙරුණු අතර ඒවාද සියල්ලම පාහේ ඇමෙරිකානු ගුවන් හමුදාව යටතේ පැවතිණි. ඒවා පහත දැක්වේ.








සයින් ව්‍යාපෘතිය (Project Sign)

1947 ජූනි 24 වන දින කෙනත් ආර්නල්ඩ් මුහුණ දුන් සිදුවීමෙන් දින කිහිපයකට පසු ජූලි 7 වනදා සහ 8 වනදා තහනම් ගුවන් කලාපයක් වූ මුරෝක් ගුවන් හමුදා කඳවුර (වර්තමානයේ Edwards AFB) අසලද මෙවැනි අභිරහස් ආකාශ වස්තු කිහිපයක් දක්නට ලැබීම ඇමෙරිකානු ගුවන් හමුදාව සසල කරවන්නක් විය. සයින් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ආසන්නතම හේතුව වූයේ මෙයයි. 1947 ජූලි 30 වනදා ලුතිනන් කර්නල් ජෝර්ජ් ගැරට් හා කපිතාන් රොබට් ස්නයිඩර් ගේ මූලිකත්වයෙන් ඇරඹුණු මෙම ව්‍යාපෘතිය අනෙකුත් සන්නද්ධ හමුදාවන්හි හා FBI හිද සහභාගීත්වය ඇතිව 1949 වසරේ මුල් භාගය වන තෙක් ක්‍රියාත්මක විණි. හඳුනා ගත නොහැකි ආකාශ වස්තු දර්ශනය වීම් පිළිබඳ වාර්තා සියල්ල දෙවන ලෝක යුධ සමයේ දී සතුරු යානා නිරීක්ෂණයේ යෙදුණු T-2 ඩිවිෂනයට භාර දෙන ලෙස ජනතාවට නියෝග කෙරුණු අතර ව්‍යාපෘතියේ අවසන් වාර්තාව Highly Classified ලෙස වර්ගීකරණය කොට සාමාන්‍ය ජනයාගෙන් වසන් කෙරිණ. කෙසේ හෝ විශ්‍රාමික ගුවන් හමුදා කපිතාන් එඩ්වඩ් රූපට් විසින් 1956 දී රචිත The Report on Unidentified Flying Objects ග්‍රන්ථයෙන් ව්‍යාපෘතියේ යම් යම් කරුණු හෙළිදරව් කරන ලදී. 1961 දී සයින් ව්‍යාපෘතියේ අඩංගු වූ සියළුම ලිපිගොනු මුදා හැරිණි. වාර්තා වුණු සමහර සිද්ධීන් වල සඳහන් ආකාශ වස්තු ගුවන් යානා හා උල්කාපාත බවත්, සමහර ආකාශ වස්තූන් එවකට ඇමෙරිකාව සතුව තිබූ තාක්ෂණයෙන් වුවද නිපදවිය හැකි මට්ටමේ ඒවා බවත් (රොකට් එන්ජින් විශේෂඥයෙකු වූ කපිතාන් රොබට් ස්නයිඩර් මෙවැනි කුඩා අනුරූ කිහිපයක් සාදා ඉදිරිපත් කර තිබේ.) අවසන් වාර්තාවෙන් නිගමනය කර තිබුණු අතර ආර්නල්ඩ් ගේ අත්දැකීම, මුරෝක් සිදුවීම ආදී සිද්ධීන් කිහිපයක් වටහා ගත නොහැකි බව දක්වා තිබුණි. එබැවින් ඇමෙරිකානු ගුවන් හමුදාව තවදුරටත් මෙබඳු සිදුවීම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි සයින් විසින් ව්‍යාපෘතිය නිර්දේශ කරන ලදි.    




ග්රජ් ව්‍යාපෘතිය (Project Grudge)

1949 පෙබරවාරි මසදී සයින් ව්‍යාපෘතිය අත්හිටුවා ග්රජ් ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර 1949 වසරේම දෙසැම්බර් මාසයේ නිල වශයෙන් අවසන් කෙරිණ. මෙම ව්‍යාපෘතිය මගින් ඉදිරිපත් කළ අවසන් වාර්තාව පක්ෂග්‍රාහී වූ බව විද්වත් මතයයි. ඇමෙරිකානු විද්‍යාඥ ආචාර්ය මයිකල් ස්වෝඩ්ස් මේ පිළිබඳව පහත ආකාරයට අදහස් දක්වා තිබේ.‍

"Inside the military, Major Aaron J. Boggs in the Pentagon and Colonel Harold Watson at Air Material Command were openly giving the impression that the whole flying saucer business was ridiculous. Project Grudge became an exercise of derision & sloppy filling. Boggs was so enthusiastically an anti-saucer that General Cabell ordered General Moore to create a more proper atmosphere of skeptical respect for the reports & their observers."
[Source: Wikipedia]

මේජර් ආරොන් බොග්ස් ගේ මූලිකත්වයෙන් ඉදිරිපත් කෙරුණු ග්රජ් ව්‍යාපෘති වාර්තාවේ අඩංගු සමහර කරුණු හා නිගමන විද්‍යාත්මකව පිළි ගත නොහැකි මට්ටමේ පැවතුණි. සයින් ව්‍යාපෘතිය මෙන් රහසිගත නොවුණද, ඉහත හේතූන් නිසාවෙන් ග්රජ් ව්‍යාපෘතිය පිළිබඳව ඉහළ නිළධාරීන් අතර පවා මතභේද ඇති වුණු බැවින් වඩාත් විද්‍යාත්මක වූ ව්‍යාපෘතියක් හරහා මෙම සිදුවීම් විශ්ලේෂණය කිරීමේ අරමුණින් යුතුව ග්රජ් ව්‍යාපෘතිය නවතා දමන ලදී.


නිල් පොත් ව්‍යාපෘතිය (Project Blue Book)

හඳුනා නොගත් ආකාශ වස්තු විෂයෙහි සිදු කෙරුණු සාර්ථක පර්යේෂණ ව්‍යාපෘතියකි. 1952 දී ආරම්භ වුණු මෙය 1969 දී අවසන් විය. ඉහත සඳහන් කළ ගුවන් හමුදා කපිතාන් එඩ්වඩ් රූපට් ගේ ප්‍රධානත්වයෙන් හා කීර්තිමත් විද්‍යාඥ ඇලන් හයිනෙක් ගේ උපදේශකත්වයෙන් ඇරඹි මෙම ව්‍යාපෘතිය මගින් සිදුවීම් 12,618 ක් විශ්ලේෂණය කරන ලදී. UFO ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ දැයි සොයා බැලීම සහ UFO සම්බන්ධයෙන් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ලබා ගැනීම අරමුණු කොට ගත් නිල් පොත් ව්‍යාපෘතියේ අවසන් වාර්තාව මගින් විශ්ලේෂණය කරන ලද සිදුවීම් කිසිවක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී නොමැති බව සහ වාර්තා වී ඇති UFO පිටස්තර ග්‍රහලොවක සිට පැමිණෙන යානා යැයි නිශ්චිතව පැවසීමට තරම් සාක්ෂි නොමැති බව නිගමන ලෙස ඉදිරිපත් කර තිබේ. (එහෙත් සමහර සිද්ධීන් පැහැදිලි කළ නොහැකි ඒවා බවද වාර්තාවේ සටහන් කර ඇත.) බොහෝ සිදුවීම් වළාකුළු, උල්කාපාත ආදිය වරදවා වටහා ගැනීම් සහ එකල රහසිගතව පරීක්ෂණ වලට ලක් කරමින් තිබුණු U-2 හා A-12 යුධ ගුවන් යානා දර්ශනය වීම් බව නිල් පොත් ව්‍යාපෘති වාර්තාවේ සඳහන්ය. නිල් පොත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන කාලයේදී සෑම ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරකටම ව්‍යාපෘති නියෝජිතයෙකු බැගින් පත් කෙරුණු අතර ඔවුන්ට ඕනෑම හමුදා නිළධරයෙකු ගෙන් සාමාන්‍ය නීතියට පරිබාහිරව ප්‍රශ්න කිරීමට බලය ලබා දී තිබිණ. මෙම ව්‍යාපෘතිය යම් පමණකට මහජනයාට විවෘත වුවද, ඊට පිටින් බොහෝ රහසිගත ක්‍රියාවලීන් සිදු විය. කපිතාන් රූපට් හා ඔහුගේ කණ්ඩායම විටින් විට ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව ජනතාව දැනුවත් කරන අතරතුර එහිදී සඳහන් නොවුණු රහසිගත කරුණු ඇතුලත් රහස්‍ය වාර්තාවන් සතිපතා පෙන්ටගනයට යොමු කෙරිණි. හඳුනා ගත නොහැකි වූ සිදුවීම් කිසිවක් මාධ්‍යයන්ට හෙළි නොකර ඒවා දිගින් දිගටම විශ්ලේෂණය කෙරෙමින් පවතින බව ප්‍රකාශ කරන ලදී. 1954 දී එඩ්වඩ් රූපට් ව්‍යාපෘතියෙන් ඉවත් වුණු අතර පසුව පිළිවෙලින් කපිතාන් චාල්ස් හාඩින්, කපිතාන් ජෝර්ජ් ග්‍රෙගරි, මේජර් රොබට් ෆ්‍රෙන්ඩ් හා මේජර් හෙක්ටර් ක්වින්ටැනිලා නිල් පොත් ව්‍යාපෘතිය භාරව කටයුතු කළහ. පසු කලෙක මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ සියළු තොරතුරු ජනමාධ්‍ය වෙත මුදා හැරිණි.

ඉහත සඳහන් වූයේ 50 හා 60 දශකයන්හිදී ඇමෙරිකානු ගුවන් හමුදාව මගින් පවත්වා ගෙන යන ලද UFOs හා සබැඳි ව්‍යාපෘතීන් කිහිපයකි. මේ හැර පසු කලෙක පිටස්තර ලෝකයන්හි ජීවය ඇත්දැයි සෙවීමට ආරම්භ කරන ලද හා තවමත් ක්‍රියාත්මකව පවතින වොයේජර්, පයනියර් හා සෙටී වැනි ව්‍යාපෘතීන් පිළිබඳව ඉදිරියේදී වෙන් වෙන්ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබේ.

2 comments:

සංවාදයට විවෘතයි.

Related Posts Plugin for WordPress, Blogger...