Friday, February 7, 2014

සත්‍යයත් අසත්‍යයත් අතරින් අතුරුදහන් වූ ආගන්තුකයා



රාත්‍රිය උදා වී ඇති බැවින් මුළු මාර්ගයම පාළු බවක් උසුලයි. එකදු මිනිසෙක්වත් දක්නට නැත. ඉඳහිට වාහනයක් දෙකක් මංසන්ධිය හරහා ඒ මේ අත යයි. එක්වරම ඉදිරිපසින් මංසන්ධිය වෙත අධික වේගයකින් පැමිණෙන්නේ ලොරි රථයකි. ඒ සමගම වම්පසින් බයිසිකල් රික්ෂෝවක් මංසන්ධියට ඇතුල් වෙයි. බයිසිකල් රික්ෂෝව අධික වේගයකින් යුතුව ඉදිරියට එන ලොරි රථයේ හැපී සුණුවිසුණු වී යාමට මොහොතකට පෙර දකුණුපසින් රික්ෂෝව දෙසට විදුලි එළියක් වැනි යමක් පැමිණේ. රික්ෂෝව අසලදී එම විදුලි එළිය මිනිස්රූපී ජීවියෙකු බවට පත් වෙයි! රික්ෂෝව දෙසට අතක් දිගු කරන මේ තැනැත්තා රික්ෂෝවත් සමග එතැනින් අතුරුදහන් වන්නේ ලොරිය හා රික්ෂෝව එකිනෙක ගැටීමට ඔන්න මෙන්න තිබියදීය.
ඊළඟ නිමේෂයේදී මංසන්ධියට අඩි කිහිපයක් ඈතින් විශාල එළියක් දිස් වන අතර එම එළිය තුළින් බයිසිකල් රික්ෂෝවත්, අභිරහස් පුද්ගලයාත් මතු වේ! දැන් රික්ෂෝව මුහුණලා ඇත්තේ මංසන්ධියේ වෙනත් දිශාවකට ය. ඒ වනවිට මෙම අත්භුත තැනැත්තාගේ මුහුණ සහ දෙඅත් සුදු පැහැයෙන් දිළිසෙමින් තිබෙන බවක් දිස් වෙයි. ඔහු හෝ ඇය රික්ෂෝව සමග අතුරුදන් වුණු ස්ථානයේත්, නැවත මතු වුණු ස්ථානයේත් කළු පැහැති වෘත්තාකාර සළකුණු 2 ක් දක්නට ලැබෙන අතර ඒවා ඉක්මණින්ම මැකී යයි. ලොරි රථය නවතා ගන්නා එහි රියැදුරා ලොරියෙන් බැස දිවවිත් රථය යටට එබී එහි ගැටුණු රික්ෂෝකරුවා සොයයි. එහෙත් ලොරිය යට මිනිසෙකු වත්, රික්ෂෝවක් වත් දක්නට නොමැත. නැවත හිස ඔසවා වටපිට බලන ලොරි රථ රියැදුරා දකින්නේ තම රථයේ ගැටීමට ආ රික්ෂෝකරුවා නිරූපද්‍රිතව වෙනත් අයෙකුද සමග මාර්ගයේ පසෙක සිටින ආකාරය යි. මේ අතරතුරේ තම දිළිසෙන දෑත් සාක්කු තුළට දමා ගන්නා ආගන්තුකයා තමා විසින් දිවි ගලවා ගත් රික්ෂෝකරුවා හෝ එදෙසට එන ලොරි රථ රියැදුරා දෙසවත් නොබලා ඉක්මණින් එම ස්ථානයෙන් බැහැරව යයි. ඔහුගේ හෝ ඇයගේ ගමන් විලාශය කාන්තාවකගේ බඳු ය. කම්පනයට පත්ව සිටින රික්ෂෝකරුවා පදික වේදිකාව මත වාඩි වේ. සිදු වූයේ කුමක්දැයි වටහා ගත නොහැකිව තුෂ්ණිම්භූත වූ ලොරි රථ රියැදුරා එතැනින් ඉවතට යන පුද්ගලයා දෙස බලා සිටියි...



ඉහත දක්වා ඇත්තේ 2012 සැප්තැම්බර් මස 5 වන දින රාත්‍රියේදී චීනයේ යම් නගරයක සවි කර ඇති CCTV කැමරාවක සඳහන් වුණු දර්ශන පෙළකි. දකින ඕනෑම අයෙකු සසළ කළ හැකි මෙම වීඩියෝව අන්තර්ජාලය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය. මෙහි රික්ෂෝකරුවාගේ දිවි ගැලවූ අත්භූත පුද්ගලයා පිටසක්වළ ජීවියෙකු විය හැකි බව පිරිසක් පවසද්දී තවත් කණ්ඩායමක් පැවසුවේ මේ යම් සුපිරි හැකියාවක් ඇති මිනිස් ගැහැණියක විය හැකි බවයි. මේ අතර වඩාත් ආගමික නැඹුරුවක් දැක්වූ අය මේ දේවදූතයෙකු විය හැකි බවද පැවසූහ.

මෙම දර්ශන පෙළ විශ්ලේෂණය කරන ලද වීඩියෝවක් පහත දැක්වේ. (මුල් පිටපත නොවේ.)


මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැරුණු මොහොතේ සිට අද දක්වාම විවාදයට බඳුන් වන්නකි. එක් කණ්ඩායමක් මෙය සත්‍ය යැයි තර්ක කරද්දී අනෙත් කණ්ඩායම අසත්‍ය යැයි තර්ක කරති. ඔවුනොවුන්ගේ අදහස් කිහිපයක් විමසා බලමු.
෴පොළොවේ සටහන්ව ඇති වෘත්තාකාර සළකුණු෴
මෙම වීඩියෝව වීඩියෝ සංස්කරණ තාක්ෂණයේ විශේෂඥයින් විසින් රූපරාමුවෙන් රූපරාමුව නිරීක්‍ෂණය කරන ලද අතර කෘතිමව සෑදූ වීඩියෝවක් බව ඉන් කිසිවෙකුටවත් ඔප්පු කළ නොහැකි විය. ඔවුන්ගේ නිගමනය වූයේ මෙය සත්‍ය ලෙසම සිදු වුණු දෙයක් බවයි. ඒ හැර මෙම සිදුවීමට මුහුණ දුන් රික්ෂෝකරුගේ සහ ලොරි රථ රියැදුරාගේ ඉරියව් අතිශය ස්වභාවික ය. (රංගනයක යෙදීමේදී දැක්වෙන ඉරියව් වල යම් පමණකට හෝ කෘතිම බවක් තිබේ.) එමෙන්ම මෙය යම් කිසිවෙකු විසින් කළ රඟපෑමක් නම්, ලොරි රථය හා බයිසිකල් රික්ෂෝව එකිනෙක ගැටිය යුතු වේ. මන්දයත් වීඩියෝවේ දර්ශනය වන ආකාරයට රික්ෂෝව අතුරුදන් වන්නේ අධික වේගයකින් එන ලොරි රථයේ ගෑවී නොගෑවී මෙන් වන බැවිනි. එලෙස අනතුරක් නොවීමට නම් ලොරි රථය වෙනමත්, රික්ෂෝව වෙනමත් රූපගත කර පසුව ඒවා පරිගණකය ආධාරයෙන් එක් කළ යුතුය. නමුත් ලොරිය හා රික්ෂෝව එකිනෙක ආසන්න වන අවස්ථාවේ දී ලොරියේ විදුලි ලාම්පු වල ආලෝකය නිසා රික්ෂෝව මතත්, පාර මතත් ඇති වන සෙවණැලි සහ රික්ෂෝව මතට වැටෙන ආලෝක ධාරා වල දිශානත වීම්  සැබැවින්ම මෙවැනි ආසන්න වීමකදී සිදු වන ආකාරයටම දිස් වන නිසා මෙම වීඩියෝව එවැනි ක්‍රියාවලියකට ලක් වූවා යැයි සිතිය නොහැක. (සංස්කරණය කරන ලද වීඩියෝවක මෙවැනි කුඩා සංසිද්ධීන් මෙතරම් තාත්වික ලෙස සැකසිය නොහැකි බව මෙම‍ වීඩියෝව පරීක්ෂා කළ පරිගණක සජීවීකරණ විශේෂඥයින් ප්‍රකාශ කර තිබේ.)

                                              අනෙක් අතට මෙය අසත්‍යයක් බව පවසන අයගේ තර්ක ද නොසලකා හැරිය හැකි ඒවා නොවේ. මුලින්ම නැගුණු ප්‍රශ්නය වූයේ CCTV කැමරාවකින් මෙතරම් පැහැදිලි රූපරාමු ලබා ගන්නේ කෙසේද යන්නයි. මෙහි මුල් වීඩියෝව 720p ප්‍රමාණයේ සුපැහැදිලි රූපරාමු වලින් යුතු විය. (එහෙත් වර්තමානය වන විට HD තාක්ෂණයෙන් බල ගැන්වෙන CCTV කැමරා වෙළඳපොළට හඳුන්වා දී තිබේ.)

                                           කෙසේ හෝ මෙම වීඩියෝව නිකුත් වී මාස කිහිපයකට පසු මෙය සත්‍ය යැයි පවසන්නන් නිහඬ කරවීමට සමත් ප්‍රබල සිදුවීමක් සිදු විය. ඒ චීන පරිගණක ක්‍රීඩා සමාගමක් වන Perfect World සමාගමේ Zhu Xian 2 නම් පරිගණක ක්‍රීඩාවට (මෙහි Jade Dynasty නම් ඉංග්‍රීසි සංස්කරණයක්ද තිබේ.) අයත් වෙබ් අඩවියේ Promotion Campaign තීරය යටතේ මෙම වීඩියෝව පළ වීමයි. Zhu Xian 2 පරිගණක ක්‍රීඩාව සුපිරි හැකියාවන්ගෙන් පිරිපුන් Dragon Totem Girl නම් තරුණියක වටා ගෙතෙන්නකි. මෙම වෙබ් අඩවියේ සඳහන් වූ අන්දමට ඔවුන් විසින් Zhu Xian 2 එළි දැක්වීමට පෙර රංගන ශිල්පිනියක යොදා ගෙන වීඩියෝ පට කිහිපයක් නිර්මාණය කර අන්තර්ජාලයට මුදාහැර ඇත. ඒ අතර Zhu Xian 2 හි සුපිරි වීරවරිය රෝගී ළමුන් හමු වූ අවස්ථාවක වීඩියෝවක්, අසරණ සතුන්ට ආහාර ලබා දෙන වීඩියෝවක් හා මෙහි සඳහන් වන වීඩියෝවද, තවත් මෙවැනිම ආකාරයේ සුපිරි හැකියාවන් දැක්වෙන වීඩියෝ 2 ක්ද වේ. (පහත රූපය බලන්න.) මෙම හෙළිදරව්වෙන් පසු ඉහත වීඩියෝව සත්‍ය යැයි තර්ක කළ පාර්ශවයට පරාජය භාරගැනීමට සිදු වුණු අතර අන්තර්ජාලය භාවිතා කරන්නන් සසල කළ පිටසක්වළ ජීවියා/සුපිරි මනුෂ්‍යයා පිළිබඳ ආන්දෝලනය යටපත් වී ගියේය.

එහෙත් ඒ තාවකාලික විරාමයක් පමණි. දැන් විවාදය නැවතත් ඇරඹී තිබේ. CCTV කැමරා රූපරාමු පෙළ Zhu Xian 2 හි ප්‍රවර්ධන වීඩියෝවක් ය යන පිළිතුරට මුල්ම අභියෝගය එල්ල වූයේ පිටසක්වළ ජීවය පිළිබඳව විශ්වාස කරන්නන්ගෙන් නොව ඉහත සඳහන් කළ වීඩියෝ සංස්කරණ ශිල්පීන්ගෙනි. ඔවුන් නැවතත් ප්‍රකාශ කර සිටියේ මෙය කෘතිමව සැකසූ වීඩියෝවක් නොවන බවයි. එය තහවුරු කිරීමට ඔවුන් Perfect World සමාගමේ වෙබ් අඩවියම යොදා ගත්හ. මෙම වෙබ් අඩවියේ ඇතුළත් කර ඇති සුපිරි හැකියාවන් පෙන්වන අනෙකුත් වීඩියෝවන් 2 සහ මෙහි සාකච්ඡා කෙරෙන වීඩියෝව අතර පැහැදිලි වෙනස්කම් ඇති බව ඔවුන්ගේ අදහසයි. ඔවුන්ට අනුව මෙම වීඩියෝව මෙන් නොව අනෙක් වීඩියෝ 2 පරිගණකය ආධාරයෙන් නිර්මිත ඒවා බව පහසුවෙන් හඳුනා ගත හැකිය. එමෙන්ම අනෙකුත් වීඩියෝවන්හි සිටින රංගන ශිල්පිනියට සහ පරිගණක ක්‍රීඩාවේ චරිතයට වඩා මෙම වීඩියෝවේ සිටින ආගන්තුකයාගේ හැඩරුව යම් තරමකින් වෙනස් බවද කියැවේ. අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වුණු වීඩියෝවත්, පසුව Perfect World සමාගම් වෙබ් අඩවියේ පළ වූ වීඩියෝවත් අතරද යම් යම් වෙනස්කම් හඳුනා ගෙන තිබේ. පහත ඇත්තේ ඒවා එකිනෙක හා සංසන්දනය කළ වීඩියෝවකි.

ආන්දෝලනයට තුඩු දුන් වීඩියෝවේ හා අනෙත් වීඩියෝවේ එක් තැනකින් අතුරුදන් වී වෙනත් තැනකින් මතු වීම (Teleportation) සිදු වන ආකාරය පවා වෙනස් බව මින් පෙනේ. වීඩියෝ සියල්ලෙන්ම නිරූපණය වන්නේ එකම චරිතයක් නම්, වීඩියෝ සියල්ලම නිර්මාණය කළේ එක් අයෙකු හෝ කණ්ඩායමක් විසින් නම් ඒවා අතර මෙවැනි වෙනස්කම් තිබිය නොහැක. මේ සියල්ල සළකා බලන විට Perfect World සමාගම විසින් නිකුත් කර ඇති වීඩියෝව, ඊට පෙර YouTube හරහා නිකුත් වූ වීඩියෝව යම් යම් ආකාරයෙන් සංස්කරණය කර සාදන ලද්දක් බව යමෙකුට තර්ක කළ හැකිය. එසේ කරන්නේ ඇයි? නැවතත් වාදයට අවතීර්ණ වී සිටින, වීඩියෝව සත්‍ය යැයි විශ්වාස කරන අයගේ අදහස වන්නේ චීන රජය හෝ වෙනත් බලගතු පාර්ශවයක් මෙම සිදුවීම යටපත් කිරීම සඳහා Perfect World සමාගම මෙහෙයවන බවයි!

ප.ලි. - මා මීට මාස කිහිපයකට පෙර මෙම ලිපිය ලිවීම ආරම්භ කළේ පිටසක්වළ ජීවීන් දුටු බවට කෙරෙන ප්‍රකාශ බොහොමයක් මිනිස් ඇස රැවටීම් හෝ යම් වංචාකාරී ක්‍රියාදාමයන් ය යන්නට උදාහරණයක් සැපයීම සඳහා ය. මීට පෙරද එවැනි සවිස්තරාත්මක ලිපියක් පියාඹන පීරිසි..??? |දෙවන කොටස| නමින් මෙහි පළ කෙරී තිබේ. එහෙත් අවසන් ඡේදයේ සඳහන් වන ආකාරයට මෙහි සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව නැවත වරක් කතිකාවතක් ගොඩ නැගී ඇති බැවින් මෙම ලිපියේ අන්තර්ගතය වෙනස් කිරීමට සිදු විය.කෙසේ වතුදු තවමත් මෙය සත්‍ය යැයි හෝ අසත්‍ය යැයි නිශ්චිතව නිගමනය කිරීමට තරම් සාක්ෂි හමු වී නැත.
                           

18 comments:

  1. මේ වීඩියෝව සහ එය සත්‍ය අසත්‍ය බව පිළිබඳව තර්කත් එකම අලවිකරණ මෙහෙයුමක කොටස් වීමට පුළුවන්. දැනට භාවිතා කරන ත්‍රිමාණ සජීවීකරණ මහින් ඔය වැඩේ කරන්න අමාරු නැහැ. මේක පැහැදිලි දර්ශනයක් නොවේ ඒක නිසා හදන්න කියන තරම් අමාරු නැහැ. ඔය වීඩියෝව ගත් ස්ථානය. සිද්දියට ලක්වූ අය. මෙන්ම ඔරිගීනල් පටිය දැක්ක කෙනෙක් නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්... බොහෝවිට මේක බොරුවක් වෙන්න පුළුවන්. ඒත්, මේ සිදුවීම ගැන ආපහු සැරයක් ප්‍රබල කතාබහක් ඇති වෙලා තියෙන නිසා මට මේ ලිපියට තව කොටස් ටිකක් එකතු කරන්න සිද්ධ වුනා. මේ සිද්ධියට ලක් වූ අය ගැන නම් සටහනක් නැහැ. හැබැයි original video එක විදියට මුලින්ම (2012 දී) Daily Motion එකෙයි, youtube එකෙයි පළ වෙච්ච වීඩියෝවේ දිනය, ස්ථානය වගේ තොරතුරු තිබුනා. :)

      Delete
  2. හ්ම්ම්ම්... හ්ම්ම්ම්ම්.... හලිසෝයි අලුත් ලිපියක් දාලා. දැන්නම් නිදිමතයි, බාගයක් දුර කියෙව්වා. ඉතිරි ටික කියවන්න හෙට උදේ එන්නම් හොඳේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යශෝධා අක්කේ.. :) ඊළග ලිපිය ලබන මාසේ නිසා හෙමින් හෙමින් කියවන්න පුළුවන්.. ;)

      Delete
  3. අදයි ආවෙ.සුපිරි ලිපියක්.ඒ වගේම සුපිරි බ්ලොග් එකක්.
    Follow කලෙමි.
    දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝදරයා. :) දිගටම එන්න.. :)

      Delete
  4. පිට සක්වල කෙලියක්මයි කියන්නත් බෑ, මේ ලොකේම සාමාන්‍ය මිනිහෙක් විදිහට ඉපදිලා හැදිලා වැඩිලා, ඒ අතරතුරේ විවිධාකාර ක්‍රම මගින් දියුණු ශක්තීන් වර්ධනය කරගත් සැඟවුණු වීරයෝ මේ ලෝකේ නැතුවා නොවෙයි. (දැනටත් ඍද්ධි බල තියෙන මිනිස්සු එහෙම ඉන්න පුලුවන් කියලා හිතන්න පුලුවන් ඒක එකක් විතරයි) එහෙම කෙනෙක්ට (සඟවුණු සුපර්මෑන් කෙනෙක්ට) මේ වගේ දෙයක් කරලා ජීවිතයක් බේරන්න පුලුවන්නම් තමුන්ගේ ශක්තිය පාවිචි කරලා ඒක කරන්න පුලුවන් (කොච්චර හංගගෙන හිටියත් ජීවිතයක් රකින්න ඒක එලියට දායි). අනික, මෙහෙම වෙලාවක දකින්න කෙනෙකුත් නැති නිසා,තමුන්ගේ සැඟවුනු දිවියට ඒක බාධාවකුත් නෙවෙයිනේ.

    ReplyDelete
    Replies
    1. මේක ගැන තියෙන ප්‍රබලම මත 2 තමඉ මේ පිටසක්වළ ජීවියෙක්, නැත්නම් සුපිරි මනුෂ්‍යයෙක් කියන එක.. දේව දූතයෙක්ය කියලා කියන අයත් ඉන්නවා.. ඔබ නිවැරදි වෙන්න පුළුවන්. සමහරවිට මේක සම්පූර්ණයෙන්ම marketing trick එකක් වෙන්නත් පුළුවන්..
      දිගටම එන්න.. :)

      Delete
  5. අඩේ මටනම් මුකුත් හිතා ගන්න බෑ.. තාම කල්පනා කරනවා..

    ReplyDelete
    Replies
    1. මේ වීඩියෝ එක ඩැකපු මුල්ම දවසේ මමත් විනාඩි කීපයක් ගල් වෙලා, කට ඇරගෙන screen එක දිහා බලන් හිටියා කියලා මතකයි.. :D

      Delete
  6. පිස්සු හැදෙයි
    සඳ මෝරයි.....

    විශේෂ දැණුමක් නැහැ දෙයක් කියන්න. මම උවමනාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. :D ඇත්තටම මටත් මේක ගැන නිශ්චිත අදහසක් නැහැ. මේක ඇත්ත කියන්නත් බැරි, බොරු කියන්නත් බැරි තත්ත්වයක් තමයි මේ වෙනකොට තියෙන්නේ..
      බොහොම ස්තූතියි අරූ අයියේ.. :)

      Delete
  7. I had a big interest towards this video and after Perfect World's announcement it all came to an end . but I got to know about the recent arguements from your article and . . . so it's still unsolved noh ?
    bdw you have an awesome writing style . keep it up !

    ReplyDelete
    Replies
    1. I felt the same when Perfect World revealed the 'Zhu Xian 2' thing. And then it rose again. Obviously this is a critical incident but still there are some attractive, unbroken points. So the mystery continues I guess.
      Thanks alot. :)

      Delete
  8. හොඳ ලිපියක් සහෝ.. මේකේ සත්‍ය අසත්‍ය බව ගැන ආපහු කතිකාවක් ඇතිවුණු මොහොතක තවත් වැදගත්කම වැඩියි මේකේ..

    මේ වගේ හොඳ ලිපි දිගටම පලකරන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝදරයා.. :)

      Delete
  9. Mta ninde giyeth na yakuuuu iye ra
    Hitha ganna amarui

    ReplyDelete
  10. මචන් ඔය video එකේ හැප්පෙන්නේ ගිය මිනිහවායි ලොරියේ ඩයල් ඒකයි මාද්‍ය ඕස්සේ යම් විදියකින් දැනුවත් කරලා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් පිලිබඳ මගේ ලග ගොඩක් විස්ස්තර තියෙනවා මොකද කියන්නේ $200 ඒවා නෙට් එකේ න.

    ReplyDelete

සංවාදයට විවෘතයි.

Related Posts Plugin for WordPress, Blogger...