Tuesday, October 14, 2014

දෙදරා ගිය තුන්ගුස්කාව

මේ උදෑසන කාලයයි. සයිබීරියාවේ පිටිසරබද ප්‍රදේශයකි. මහා ජල කඳක් උසුලා ගත් තුන්ගුස්කා ගංගාව නිහඬව ගලා බසිනු පෙනේ. ගංගාවට එපිටින් ඇත්තේ විශාල වනාන්තරයකි. මෙපිටින් සාරවත් ලෙස තිරිඟු වගා කළ ගොවිබිමකි. ගොවියන් කිහිපදෙනෙකු යුහුසුළුව යම්කිසි කාර්යයක නිරතව සිටිනු දිස් වේ. කාලය ගත වෙයි. එක්වරම සුළං කපාගෙන යන ශබ්දයක් ඇසේ. තම වැඩකටයුතු මදකට නතර කරන ගොවීහු විමතියෙන් වටපිට බලති. තත්පර කිහිපයක් නිහඬවම ගෙවී යයි. ඊළඟ මොහොතේ ඇසෙන්නේ අතිවිශාල වූත්, බිහිසුණු වූත් පිපුරුම් ශබ්දයකි! මහපොළොව දෙදරා යයි. අධි පීඩන තරංග දසත පැතිරේ. ඇති වන පීඩනය දරා ගත නොහැකිව සමබරතාව ගිලිහෙන ගොවීන් කිහිපදෙනා පුළුන් කැබලි මෙන් ඈතට විසි වී යනු දර්ශනය වෙයි. 






ඉහත සඳහන් වූයේ හොලිවුඩ් චිත්‍රපටයක දර්ශනයක් නොවේ. මීට වර්ෂ 106 කට පෙර 1908 වසරේ ජූනි මස 30 වන දින සයිබීරියාවේ තුන්ගුස්කා ගඟ අසබඩ පොඩ්කමෙන්නයා ප්‍රදේශයේදී සැබෑ ලෙසම සිදු වූ සිදුවීමකි. කුමක් හෝ අතිවිශාල වස්තුවක් ඉහළ අහසේ සිට තුන්ගුස්කා වනයට කඩා වැටුණු අතර හිරෝෂිමා පරමාණු බෝම්බය මෙන් දහස් ගුණයක (TNT මෙගා ටොන් 30 ක්) ශක්තියක් නිදහස් කළ මෙම ඝට්ටනය හේතුවෙන් වනයේ වර්ග කිලෝමීටර 2150 ක ප්‍රදේශයක් ගස් මිලියන  80 ක්ද සමග සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. පිපුරුම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් 100 ක් දක්වා ඈතට කම්පන තරංග පැතිරුණි. රිච්ටර් මාපකයේ 5.0 අගය ගත් කම්පනයක් නිකුත් කළ මෙම පිපිරීම මෑත ඉතිහාසයේ පෘථිවිය මත ඇති වූ ප්‍රබලම පිපුරුම ලෙස වාර්තා වේ. පර්යේෂණයන්හිදී අනාවරණය වූයේ මෙම ආකාශ වස්තුව පොළොව සමග ඝට්ටනය වීමට පෙරාතුව පුපුරා ගිය වගයි. සැබැවින්ම රිච්ටර් 5.0 ක පිපිරීමක් පොළොව මත සිදු වූයේ නම් මීට වඩා සෑහෙන දරුණු ව්‍යසනයක් සිදු වීමට ඉඩ තිබුණි.

1908 වසරේ සිට මේ දක්වා තුන්ගුස්කා සිදුවීම පිළිබඳව පර්යේෂණ පත්‍රිකා දහසක් පමණ එළි දක්වා තිබේ. ආසන්නතම වාර්තාව නිකුත් වූයේ 2013 වසරේදී ය. මෙම පර්යේෂණයන් සමස්තයක් ලෙස විමසා බැලීමේදී තුන්ගුස්කා පිපිරීම පිළිබඳව නිශ්චිත නිගමනයක් මෙතෙක් ඉදිරිපත් කෙරී නැති බව පෙනී යයි. මෙලෙස කඩා වැටුණේ ග්‍රහකයක් බව සමහරුන් පවසද්දී තවත් අය පවසන්නේ එය පිටසක්වළ යානාවක් බවයි.

එහෙත් එම මතයන් 2ම පෝෂණය කිරීමට සමත් සාක්ෂි අදාළ පිපිරුම් ස්ථානයෙන්  හමු වීම මෙම අබිරහස තව තවත් තීව්‍ර කර තිබේ. ග්‍රහකයක යැයි සැලකිය හැකි පාෂාණමය සුන්බුන් රැසක් මෙම ස්ථානයේ තිබී විද්‍යාඥයන්ට හමු වී ඇති අතර කුමන වස්තුවකට අයත් වූයේදැයි සිතා ගත නොහැකි අත්භූත ආකාරයේ ලෝහ කැබලි ද හමු වී තිබේ. 70 දශකයේදී හමු වූ මෙවැනි ලෝහ කැබැල්ලක සීසියම් (Cs), ලැන්තනම් (La) හා නයෝබියම් (Nb) යන මූලද්‍රව්‍යයන් විශාල වශයෙන් ගැබ් වී ඇති බව සොයා ගන්නා ලදී. මෙම මූලද්‍රව්‍යයන් 3ම පෘථිවිය මතදී අතිශය දුර්ලභ ය.අදාළ ලෝහ කැබැල්ල කැඩී ගොස් ඇත්තේ විශාල ගෝලාකාර වස්තුවකින් බවද හඳුනා ගැනිණ.

තුන්ගුස්කාවේදී පුපුරා ගියේ ග්‍රහකයක් හෝ පිටසක්වළ යානාවක් හෝ වෙනත් කුමක් හෝ වුවද එම පිපිරීමේදී අධික විකිරණ ශක්තියක් අවට පරිසරයට මුදා හැරුණු බව විද්‍යාඥයෝ විශ්වාස කරති. ඊට හේතුව වන්නේ පිපිරීමෙන් වසර 106 කට පසු වර්තමානයේද අදාළ ප්‍රදේශයේ හට ගන්නා සමහර ශාක අසාමාන්‍ය ලක්ෂණ දැක්වීම හා කෘමීන් ආදී සතුන් විකෘති ශරීර ඇතිව බිහි වීමයි.

කෙසේ හෝ 2009 දී තුන්ගුස්කාව පිළිබඳව පර්යේෂණ වාර්තාවක් එළි දැක්වූ රුසියානු විද්‍යාඥ යූරි ලව්බින් ඉන් ඉදිරිපත් කළ නිගමනය ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුණි. අදටද "Tunguska" නමින් අන්තර්ජාලයේ සෙවුමක් කළ විට මුලින්ම දිස් වන්නේ ඔහු විසින් ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාව අඩංගු වෙබ් අඩවි ය. ලව්බින් විසින් පිපිරීම  සිදු වූ ස්ථානයේ තිබී අසාමාන්‍ය ආකාරයේ ක්වාට්ස් (තිරිවානා) ස්ඵටික කිහිපයක් සොයා ගන්නා ලදී. මින් ස්ඵටික 10 ක පමණ මධ්‍යයේ ක්‍රමානුකූල ලෙස නිමැවුණු වෘත්තාකාර සිදුරු තිබුණු අතර සෑම ස්ඵටිකයකම පාහේ විවිධාකාර රූප සටහන් දක්නට ලැබිණි. පෘථිවියේ ඇති කිසිදු උපකරණයකින් ක්වාට්ස් ස්ඵටික මත එවැනි නිර්මාණයන් කළ නොහැකි බව අවධාරණය කරන යූරි ලව්බින්, සිදුරු  සහිත ස්ඵටික දම්වැලක ආකාරයට එකිනෙක අමුණා තිබෙන්නට ඇති බවද උපකල්පනය කරයි. එමෙන්ම පෘථිවියේදී කිසිම අයුරකින් නිපදවිය නොහැකි ෆෙරම් සිලිකේට නම් ඛනිජමය සංයෝගයක්ද මෙම ක්වාට්ස් ස්ඵටික ආශ්‍රිතව තිබී ඔහු විසින් සොයා ගෙන ඇති බව වාර්තාවේ සඳහන් කොට තිබේ.

මේ සියල්ල පිළිබඳව තම වාර්තාව හරහා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන මෙම රුසියානු විද්‍යාඥයා අවසානයේ සිත් සසල කරවන, විශ්මයජනක නිගමනයක් ඉදිරිපත් කර තිබේ. එම නිගමනයෙන් ලිපිය අවසන් කරමු. බොහෝවිට ඔහු සම්පූර්ණයෙන්ම වැරදි විය හැකිය. (මෙය විශ්වාස කිරීමට ඉතා අපහසු මතයකි.) එහෙත් සමහරවිට ඔහු නිවැරදි වීමටද හැක. ඔහු නිවැරදි නම්...?

"තුන්ගුස්කාවේදී සිදු වී ඇත්තේ ආශ්චර්යමත් සිදුවීමක්. මුලදී මමත් එය විශ්වාස කිරීමට පැකිළුණා. එහෙත් දැන් මටත් එය පිළි ගැනීමට සිදු වෙලා තිබෙනවා. ඔබලා සමහරෙක් පවසනවා ග්‍රහකයක් කඩා වැටුණු බව. සමහරෙක් පවසනවා පිටසක්වළ යානාවක් කඩා වැටුණු බව. මම කිව්වොත් මේ සිදුවීම් දෙකම තුන්ගුස්කාවෙදී සිදු වුණා කියා? ඔබ පිළි ගන්නවාද? ඔව්. මෙහිදී කඩා වැටුණේ විශාල ග්‍රහකයක්. නමුත් එය පොළොවේ ගැටීමට ඔන්න මෙන්න තිබියදී යම් අත්භූත යානාවක් ඒ සමග ගැටුණා. පොළොව මත සිදු වීමට නියමිත වූ පිපිරීම පොළොවෙන් ඉහළදී සිදු වූයේ ඒ නිසයි. මා ඇතුළු මගේ කණ්ඩායම සොයා ගත් පාෂාණමය දම්වැල සහ අනෙකුත් නිරීක්ෂණ මගින් පැහැදිලි වෙනවා එම යානාව හිතාමතාම ග්‍රහකයේ ගැටීමට සැලැස්වූ බව. සමහරවිට එහි ජීවීන් සිටියා විය හැකියි. නැතහොත් දුරස්ථව මෙහෙයවූවක්ද විය හැකියි. ඒ කුමක් වුවත්..... ඔවුන් මිනිස් වර්ගයා මහා විනාශයකින් ගලවා ගත්තා!"
                                                  -යූරි ලව්බින්

 පසු සටහන: මෙම ලිපිය මගින් කෙරෙනුයේ අදාල සිදුවීමේ එක් පැතිකඩක් වාර්තා කිරීම පමණි. ඒ හැර යූරි ලව්බින්ගේ අදහස සත්‍ය යැයි පැවසීමක් කිසිසේත් සිදු නොකෙරේ. ලොව පුරා අතිමහත් බහුතරයක් විද්‍යාඥයන් මෙම අදහසට එකහෙළා විරුද්ධ වන බවද වර්තමානයේදීත් තුන්ගුස්කා සිදුවීම උල්කාපාත ඝට්ටනයක් ලෙස අර්ථ දැක්වෙන බවද සඳහන් කළ යුතුමය.    

26 comments:

  1. අදයි දැක්කේ මේක.. ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. මමත් දේශකයා බ්ලොග් එක නිතර කියවන කෙනෙක්.. :)

      Delete
  2. digatama liyanna obata jaya

    ReplyDelete
  3. පිපුරුම සිදුවූ වෘත්තාකාර ප්‍රදේශයේ කේන්ද්‍රය ආසන්නව පිහිටි ගස් තනි කෙලින් හානි රහිතව පැවතුන බව කියනවා. මේ කියන්නේ එහි කේන්ද්‍රයේ වූ කි.මී. අටක පමණ කොටසක් ගැන. අතු ගැලවී, සිහිරුම් සහිතව තිබුනත් ඒ ගස් වලට වෙන හානියක් වී නැහැ. නමුත් පුදුමය වන්නේ ඊට එහායින් පිහිටි ගස්, වෘත්තයක ආකාරයට අර කේන්ද්‍රයෙන් පිටතට ඉදිරී වැටී තිබීම.

    ReplyDelete
    Replies
    1. ඔව්.. හරියට අස්වනු වෘත්තයක විලෝම ක්‍රියාවලියක් වගේ.. සමහරුන්ගේ අදහසේ හැටියට පිපිරුමේදී කම්පන තරංග කේන්ද්‍රයෙන් ඉවතට විහිදෙන නිසා මෙහෙම දෙයක් වෙන්න පුළුවන් ලු. (පිපිරීම පොළොව මත සිදු නොවුණු නිසා) මැද්දේ තිබුණු ගස් වලට වුණු සුළු හානි වලට හේතුව පිට වුණු තාපය, සුන්බුන් වගේ දේවල් ලු. නමුත් ඇත්තටම පිපිරීමකදි කම්පන තරංග වලින් පිපිරුම් කේන්ද්‍රයට කිසිම බලපෑමක් වෙන්නෙ නෑ කියන කතාව ප්‍රායෝගික ද කියලා ප්‍රශ්නයක් තියෙනවා.

      Delete
    2. අත්බෝම්බයක පිපිරුම් කේන්ද්‍රයට වඩා වැඩි හානියක් වෙනව නේද පිටත අවධානම් කලාපයේ තියන දේවල් වලට ( මම දන්න තරමින් කියන්නේ වැරදි වෙන්න පුලුවන් )

      Delete
    3. මගේ දැනුමේ හැටියට නම් ඔව්.. මොකද කම්පන තරංග කේන්‍ද්‍රයෙන් ඉවතට විහිදෙන නිසා.. නමුත් අනිත් අතට පිපිරීම සිද්ධ වුණු තැන ක්ෂණිකව ඇති වෙන රික්තය පුරවන්න ඊළඟ මොහොතේ අවට තියෙන වාතය බොහොම වේගයෙන් එතනට එනවා. සමහර අවස්ථා වලදී බෝම්බයකට අහු වෙන සමහර අයගේ (හැමෝගෙම නෙමෙයි.) අතපය ගැලවෙන්නේ බෝම්බය නිසා නෙමෙයි මේ වායු ධාරා නිසා. ඉතින් මේ විදියට මැද්දේ තිබුණ ගස් යන්තම් සීරීම් වගේ සුළු තුවාල පමණක් ඇතුව බේරුණු එක (කිසිම හානියක් නැති විදියට) ටිකක් අමුතුයි වගේ නේද?

      Delete
  4. ලිපිය ආසාවෙන් කියෙව්වා ...මං කියවගෙන කියවගෙන අන්තිමට බැලුවේ අර කිව්ව විවිධාකාර රුප තිබ්බ ක්වාට්ස් ස්ඵටික වල පින්තුරයක් වත් දාල ඇතිද දන්නා කියන ආසාවෙන්... කෝ නෑනෙ :( .. තව එකක් ඊයේ මූනුපොතේ කවුදෝ ෂෙයාර් කරලා තිබ්බ බර්මියුඩා ත්‍රිකෝණෙ ගැන හොයා ගත්තු අලුත්ම විස්තර වගයක් ..ඔන්න ඔත්තුවක් අදහසක් තියනවානම් ඊළඟ ලිපියට ලියන්න පුළුවන් :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි..! :) ක්වාට්ස් ස්ඵටික වල පින්තූරයක් දාන්න මාත් හෙව්වා ඒත් internet එකේ තියෙන photos edit කරලා හදපු ඒවා වගේ.. ඒකයි නොදැම්මේ. දන්නවනේ බොරුව උතුරා යන විෂයයක්නෙ මේක. :D මාත් මේ වගේ දේවල් ගැන ලියද්දි කරුණු වල අවිනිශ්චිත බව ගැන ලිපියෙම සඳහන් කරන්නේ ඒකයි.
      බර්මියුඩා කතාව මාත් දැක්කා කට්ටිය ගොසිප් සයිට්ස් කීපෙකින්ම ෆේස්බුක් එකට share කරලා තියෙනවා.. (මේවා ගොසිප්ද මන්දා) අර සයිබීරියාවෙන් හම්බ වුණ කුහර වල කතාව නේද? ඒක ඇත්ත කතාවක්මද කියන එක ප්‍රශ්නයක් අනික වැඩිදුර විස්තර මොකුත් නෑ ඒ ලිපි වල. හොයල බලන්න ඕන ඒක ගැන, කතාව ඇත්ත නම් අනිවාර්යයෙන්ම ලියන්නම්. :) එතකන් බලන්න මම බර්මියුඩාව සම්බන්ධව ලිපි 2ක් ලියලා තියෙනවා.. ;) හැබැයි ඒවා මතවාද පමණයි, හරියටම විද්‍යාත්මකව තහවුරු කරල නැහැ තවමත්.

      බර්මියුඩා ත්‍රිකෝණයේ සැඟවී ගිය Flight 19 බලගණය
      ලොව කැළඹූ බර්මියුඩා ත්‍රිකෝණය

      Delete
    2. ස්තුතියි ආසාවෙන් කියෙව්ව.මේ පාරවත් ඔය බර්මියුඩා ත්‍රිකෝණයේ අබිරහසට හේතුව හරියටම හොයාගන්න පුළුවන් උනොත් හොඳයි.මේව ගැන අන්තර්ජාලයෙන් කරුණු හොයන එක අමාරුම වැඩක් වෙන්නැති මොන ලිපිද හරි මොන ලිපිද වැරදි කියල හිතාගන්න බෑනෙ.අනෙක ඒවා ගැන දාල තියන, එක එක අය හදපු සමහර පින්තූරත් අපිව නොමග යවනවා .කොහොම උනත් මේ විස්තර ඔක්කොම හොයල එක ලිපියකට අරන් කියවන්න දෙන උත්සහයම අගය කරන්න ඕන ...දිගටම ලියන්න ජය ..

      Delete
    3. බොහොමත්ම ස්තූතියි හංසි.. :) පැහැදිලිවම ඔව්.. 90%ක්ම තියෙන්නේ බොරු.. මෙතෙක් ලියපු ලිපි නම් මම එක එක කාල වලදි පොත් පත්තර වලින් කියවලා දැනගත්ත දේවල්... පොඩි කාලේ ඉඳන්ම තාරකා විද්‍යා පිස්සුවක් තියෙනවා.. :D හැබැයි සංඛ්‍යා අගයන් නම් ආපහු හොයල බලලයි ලියන්නේ ඒවා මතක තියාගන්න අමාරු නිසා...

      Delete
  5. ස්තූතියි මේ තොරතුරු අපිත් එක්ක බෙදා හදා ගත්තට.. හිතන්න යමක් ඉතිරි කල සටහනක්..

    ReplyDelete
    Replies
    1. ලිපිය සාර්ථක නම් එය මට සතුටක්... :)

      Delete
  6. ඒකත් එහෙමද! බොහොම වැදගත් විස්තරයක්. ස්තුතියි.

    ReplyDelete
  7. Replies
    1. කවදද බ්ලොගර් ප්‍රොෆයිල් එකක් හැදුවේ? :O බොහොම ස්තූතියි “අයියේ“.. :P :D

      Delete
  8. කියන්ඩ වෙන දෙයක් නැ පට්ටයි රටක් වටින වැඩක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අටම් අයියෙ.. :)

      Delete
  9. මාත් තුන්ගුස්කා ගැන හම්බානෙට කියවල තියෙනව... පිපුරුමට පහලන් පොලවෙ සිද්දවෙලා තියෙන දේ සහ ඒ වෘත්තයෙන් එහා වුණ දේ බලපුවාම පිපුරුම කොයි තරං විශාලද කියල හිතෙනව...
    සමහර විට න්‍යස්ඨික බලය ගැන මූලකි අදහස එන්නත් ඔය පිපුරුම උදව් වෙන්න ඇති..

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම මහා විනාශයක්.. ඒත් වටාපිටාවට වෙච්ච හානියෙ හැටියට මැද ඔය තරමටවත් බේරුණු එක වෙලාවකට පුදුමයක්.. බස්සි අක්කගේ කමෙන්ට් එකේ තියෙනව වගේ..
      මහේෂ් අයියා කියවල තියෙනවද දන්නෑ ආතර් සී. ක්ලාක් මහත්මයාගේ The Hammer Of God පොතේ මුල තුන්ගුස්කාව ගැන තියෙන කොටස..
      “ග්‍රහකය පොළොවට කඩා වැටීම පැය දෙකකින් ප්‍රමාද වූයේ නම් ඉන් මුළු මොස්කව් නගරයම විනාශ වී ලෝක ඉතිහාසය මුළුමනින්ම වෙනස් වීමට ඉඩ තිබිණ.“

      Delete
  10. යූරි ලව්බින් නිවැරදි

    ReplyDelete
  11. ගොඩක් කරුණු දැනගත්තා. රසවත් ලිපි පෙළක්!

    ReplyDelete

සංවාදයට විවෘතයි.

Related Posts Plugin for WordPress, Blogger...