Wednesday, November 11, 2015

නොවැම්බර් 13 වනදා ශ්‍රී ලංකා මුහුදට වැටෙන ආකාශ වස්තුව කුමක්ද?


පසුගිය ඔක්තෝබර් 3 වනදා ඇරිසෝනාවේ පිහිටි කැටලිනා ආකාශ වස්තු නිරීක්ෂණාගාරයේ සේවයේ නියුතු විද්‍යාඥයෝ පෘථිවිය දෙසට ඇදී එමින් ඇති හඳුනා නොගත් ආකාශ වස්තුවක් (UFO) නිරීක්ෂණය කළහ. මෙම ආකාශ වස්තුව මීට පෙරද 2009 හා 2013 වසරවලදී දුරේක්ෂවලට හසුවී තිබුණු අතර ඒ ඒ අවස්ථාවන්හිදී පිළිවෙලින් 9U01FF6, UDA34A3 සහ UW8551D ලෙස නම් කෙරී තිබිණි.
නමුත් ඒ අවස්ථාවලදී පෘථිවිය වටා දුරස්ථ හා ආරක්ෂිත කක්ෂයක ගමන් කරමින් සිටි මේ ආගන්තුකයා විද්‍යාඥයන්ගේ එතරම් අවධානයකට පාත්‍ර වූයේ නැත. UW8551D යනු කුමක්දැයි සොයාබැලීම ආරම්භ වූයේ එය තම ගමන් මාර්ගය වෙනස් කොට පෘථිවිය දෙසට ඇදී ඒමට පටන් ගැනීමත් සමග ය.

අත්භූත ආකාශ වස්තුව නැවත WT1190F ලෙස නම් කෙරිණි. (මෙය කඩා වැටෙමින් ඇති ආකාශ වස්තුව කුමක්දැයි හරිහැටි හඳුනාගත නොහැකි නිසා WTF යන අර්ථයෙන් යොදන ලද කේත නාමයකි.) වස්තුවේ දිග හා පළල වැනි මාන ගණනය කිරීම ඇරඹුණු අතර එය  සාමාන්‍ය ග්‍රහකයක් මෙන් නොව දීප්තිමත් මතුපිට පෘෂ්ඨයකින් යුක්ත වන බව සොයාගන්නා ලදී.

පෘථිවිය දෙසට වේගයෙන් කඩා වැටෙමින් තිබෙන්නේ ග්‍රහකයක් හෝ වෙනත් එවැනි ස්වභාවික වස්තුවක් නොවන බව විද්‍යාඥයින් මුල් වරට තහවුරු කර ගනු ලැබුවේ එහි මාන පිළිබඳව දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු ය. මීටර් දෙකක හෙවත් අඩි හතක පමණ දිගකින් යුතු WT1190F හි හැඩය පරිපූර්ණ සිලින්ඩරාකාර ය. එනම් මෙය කෘතීම නිෂ්පාදනයක් මිස ස්වභාවික වස්තුවක් නොවේ.

මෙම තොරතුරත් සමග විවිධ පුද්ගලයින් විසින් මෙම අත්භූත වස්තුව පිළිබඳව ආකර්ෂණීය (එහෙත් සිදුවීමේ සම්භාවිතාව ඉතාම අඩු) අදහස් දැක්වීමට පටන් ගත්හ. සමහරුන් මෙය පිටසක්වළින් පෘථිවිය වෙත පැමිණෙමින් ඇති යානාවක් ලෙස අර්ථ දැක්වූ අතර තවත් සමහරුන් මෙය කාල තරණය කිරීමකින් අනාගතය හරහා වර්තමානය වෙත පැමිණෙමින් සිටින යමක් ලෙස අර්ථ දැක්වූහ. කෙසේ හෝ වේවා මෙවැනි අදහස් විශ්වාස කිරීමට අපහසු වුවද මෙතෙක් WT1190F යනු කුමක්දැයි නිශ්චිතව තහවුරු කරගෙන නොමැති බවද කිව යුතුය.

දැනට විද්‍යාඥයන් විශ්වාස කරන පරිදි මෙය මිනිසා විසින්ම අභ්‍යවකාශගත කරන ලද යම්කිසි අභ්‍යවකාශ යානාවක සුන්බුන් කැබැල්ලකි. වසර ගණනාවක් තිස්සේ පෘථිවිය වටා පරිභ්‍රමණය වෙමින් තිබූ මෙම සුන්බුන් කැබැල්ල දැන් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර වෙනස්වීමක් හෝ වෙනත් සංසිද්ධියක් නිසා තම කක්ෂයෙන් බැහැර වී පෘථිවි පෘෂ්ඨය වෙතට කඩා වැටීම අරඹා තිබේ.


60 දශකයේදී නාසා ආයතනය විසින් සිදු කළ චන්ද්‍ර මෙහෙයුම් හෙවත් ඇපලෝ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ රොකට්ටුවල ආධාරයෙනි. ඇපලෝ 1 සිට 17 දක්වා මිනිසුන් රහිත හා සහිත චන්ද්‍රිකා Little Joe II, Saturn I, Saturn IB සහ Saturn V රොකට්ටු මගින් අභ්‍යවකාශගත කිරීම සිදු විය. (ඇපලෝ මෙහෙයුම් පිළිබඳව ලිපියක් ඉදිරියේදී..)

මෙවැනි රොකට්ටු අභ්‍යවකාශගත වීමේ විවිධ පියවරවලදී යානය උපරිම වශයෙන් සැහැල්ලු කරගැනීම සඳහා තමන්ගේ තවදුරටත් ප්‍රයෝජනවත් නොවන කොටස් ගලවා ඉවත් කිරීම සිදු කරයි. රොකට් බූස්ටර, හිස් ඉන්ධන ටැංකි ආදී වූ මෙවැනි කොටස් ඉහළ අභ්‍යවකාශයේදී රොකට්ටුවෙන් මුදා හැරෙන්නේ ආරක්ෂා සහිතව සාගරයට වැටෙන ලෙසට ක්‍රමලේඛගත කර ය. නමුත් බොහෝවිට මෙවැනි රොකට්ටු කොටස් පෘථිවි වායුගෝලයේදී ගිනිගෙන විනාශ වන අතර තවත් සමහර කොටස් පෘථිවියට නොවැටී ඒ වටා කක්ෂගතව පරිභ්‍රමණය වෙයි. නොවැම්බර් 13 වනදා කඩා වැටෙන ආකාශ වස්තුව එහි හැඩය හා ප්‍රමාණය අනුව ‍ඇපලෝ රොකට්ටුවකින් මුදා හරින ලද බූස්ටරයක් ලෙස සැලකිය හැක. එසේ නම් තවත් දින දෙකකදී අප දැකගනු ඇත්තේ මිනිසා විසින් සීත යුද සමයේදී අභ්‍යවකාශගත කරන ලද අභ්‍යවකාශ යානාවක කොටසක් වසර හතළිස් ගණනකට පසු නැවත තම නිර්මාපකයන් සොයා පෘථිවියට පැමිණෙන දර්ශනය යි.

෴Apollo 17 අභ්‍යවකාශගත කළ Saturn V රොකට්ටුව෴

මෙය තාරකා විද්‍යාත්මක වශයෙන් ඉතාම වැදගත් සංසිද්ධියක් බව අමුතුවෙන් කිව යුතු නැත. WT1190F යනු විද්‍යාඥයන් විසින් නිගමනය කර ඇති ආකාරයේ අභ්‍යාවකාශ සුන්බුන් කැබැල්ලක් නම්, අභ්‍යාවකාශ සුන්බුන්වල හැසිරීම සහ පෘථිවියට ඒ මගින් ඇති වන බලපෑම පැහැදිලිව අධ්‍යයනය කිරීමට ලැබෙන ප්‍රථම අවස්ථාව මෙය යි. එමෙන්ම ශ්‍රී ලාංකිකයන් වන අපට වෙනත් ආකාරයකින් ද මේ ආකාශ වස්තු කඩා වැටීම ඉතා වැදගත් වේ. මන්දයත්, මේ වනවිට මුළු ලෝකයේම අවධානය දිනාගෙන සිටින WT1190F කඩා වැටෙන්නේ ශ්‍රී ලංකා මුහුදු සීමාව ඇතුළත වන බැවිනි.

Source: DailyMail

සිදු කර ඇති ගණනය කිරීම් අනුව නොවැම්බර් මස 13 වන සිකුරාදා උදෑසන 11.50ට පමණ ගාල්ලට කිලෝමීටර 65 - 100 ඈතින් ඇති මුහුදට WT1190F කඩා වැටෙනු ඇත. මෙය ප්‍රමාණයෙන් කුඩා වස්තුවක් වන බැවින් කඩා වැටීම හේතුවෙන් ගොඩබිමට කිසිදු බලපෑමක් නොවේ.  ඉහළ වායුගෝලය හරහා පැමිණීමේදී WT1190F සම්පූර්ණයෙන්ම හෝ ඉන් වැඩි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී යනු ඇති අතර එමනිසා මුහුදට වැටෙනු ඇත්තේ කුඩා සුන්බුන් කැබලි කිහිපයක් පමණි. කෙසේ වුවත් මෙම කඩා වැටීම සිදුවන අවස්ථාවේදී ඒ අවට මුහුදේ ගැවසීම ඉතා අනතුරුදායක ය. වස්තුව කඩා වැටෙන ස්ථානය තහවුරු කරගත් වහාම නාසා හා ඊසා අභ්‍යවකාශ ඒජන්සි විසින් අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ධීවර අමාත්‍යාංශය ද 13 වනදා ගාල්ල අවට මුහුදේ මසුන් මැරීමට යාමෙන් වළකින්නැයි අනතුරු ඇඟවීමට පියවර ගත්තේය.

දහවල් කාලයේ මධ්‍යහ්නයට ආසන්න වෙලාවකදී WT1190F කඩා වැටීම සිදු වූවත් එය දීප්තිමත් ගිනි බෝලයක් හෝ කුඩා ගිනි බෝල රාශියක් ලෙස දකුණු මුහුදුබඩ ප්‍රදේශයන්හි අහසේ දිස් වනු ඇත.


තවත් ඉතිරි වී ඇත්තේ පැය 48ක පමණ කාලයකි. ඔබ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය ආශ්‍රිතව වෙසෙන්නෙක් නම් හෝ සිකුරාදා (අනිද්දා) දිනය ඇතුළත දකුණු පළාතේ සංචාරය කරන්නෙක් නම් උදෑසන 11.50ට සිදුවීමට නියමිත WT1190F කඩා වැටීම නැරඹීමට අමතක නොකරන්න. ඉතා දුර්ලභ සිදුවීමක් වන මෙය ඔබට අමතක නොවන අත්දැකීමක් වනු ඇත.

වැදගත්: WT1190Fහි විශාල කොටස් මුහුදට වැටීමේ හැකියාවක් නොමැති වුවද, මෙවැනි කඩා වැටෙන ආකාශ වස්තුවක ඉතා කුඩා කැබැල්ලක් පවා අතිශය අනතුරුදායක වේ. කඩා වැටෙන අධික වේගය නිසා කුඩා බොරළු කැටයක ප්‍රමාණයේ කොටසකට පවා මිනිසෙකු මරණයට පත් කිරීම හෝ දැඩි දේපළ හානියක් කළ හැකිය. එමනිසා 13 වනදා මුහුදු යාමෙන් වැළකී සිටීම ඉතා වැදගත් වේ.

Update - 2015/11/12 8.52PM

ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය විසින් දකුණු මුහුදු තීරය හෙට දිනය සඳහා මුහුදු හා ගුවන් ගමන් තහනම් කලාපයක් බවට පත් කර තිබේ.


"A state of 'Fishing Ban' and a No-Fly-Zone have been imposed in the Southern sea area and over the sky as a space debris named WT1190F is expected to enter the Earth's atmosphere on 13 November. The space junk is expected to fall into the ocean about 65km to 100 km off the southern coast of Sri Lanka.

According to the scientific information, its mass is not sufficient to cause any threat to the area as it appears to be manmade and quite small. Possibly it could burn-up when it enters the earth's atmosphere and remains will fall into the sea.

The object could be a remaining piece from an early moon mission and is expected to fall around 11.48 a.m. in the local time.

Chief Air Traffic Controller of the Airport and Aviation Services Sri Lanka, Ms. Krishanthi Tissera mentioned that they will observe a no fly zone above the southern sea area on Friday. Similarly, the Fisheries Department also have alerted respective regional authorities on a fishing ban in the supposed sea area."

                                                   - Ministry of Defense, Sri Lanka

හෙට දිනයේ කඩා වැටෙන WT1190F නිරීක්ෂණය කිරීමට නාසා හා ඊසා පර්යේෂණ කණ්ඩායම් දෙකක්ද සහභාගී වීමට නියමිත ය..




22 comments:

  1. අශාන් ට බොහොම සරළව මේ දේවල් සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න ඇති හැකියාව විශිෂ්ටයි... දිගටම එන්නං කියවන්න.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ඩ්‍රැකී.. අනිවාර්යයෙන්ම එන්න..

      Delete
  2. ස්තුතියි අශාන් මහන්සිවෙලා මේ තොරතුරු සොයාගෙන අපි වෙනුවෙන් ඉදිරිපත් කරනවාට .

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මනෝ..

      Delete
  3. නියම විස්තරයක්, එත් මේක බලන්නම ගිහින් කවුරු හරි අනතුරක් කරගත්තත් පුදුම වෙන්න් දෙයක් නෑ. මොකද අපේ ය එපා කියන දේ කරන්න්හැරිම ආසයි නේ

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ඉවාන්. එපා කියන දේම කරන එක අපේ අයට ඇඟෙන්ම එන දෙයක් නෙ...

      Delete
  4. /වසර ගණනාවක් තිස්සේ පෘථිවිය වටා පරිභ්රමණය වෙමින් තිබූ මෙම සුන්බුන් කැබැල්ල දැන් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්ර වෙනස්වීමක් හෝ වෙනත් සංසිද්ධියක් නිසා තම කක්ෂයෙන් බැහැර වී පෘථිවි පෘෂ්ඨය වෙතට කඩා වැටීම අරඹා තිබේ. //

    :O ග්‍රහ ලෝකයක් මෙහෙම වුනොත් කොහොමද?

    //WT1190F යනු විද්යාඥයන් විසින් නිගමනය කර ඇති ආකාරයේ අභ්යාවකාශ සුන්බුන් කැබැල්ලක් නම්, අභ්යාවකාශ සුන්බුන්වල හැසිරීම සහ පෘථිවියට ඒ මගින් ඇති වන බලපෑම පැහැදිලිව අධ්යයනය කිරීමට ලැබෙන ප්රථම අවස්ථාව මෙය යි .

    දැන් ඕක ලංකාවේ මුහුදට වැටෙන නිසා අයිතිය ලංකාවට නේ? :P

    ReplyDelete
    Replies
    1. එහෙම වුණොත් නම් ඉවරයි නේ අක්කෙ.. හැබැයි හොඳ වෙලාවට ඒ වගේ දේවල් වෙන්න තියෙන ඉඩ 0.1%කටත් වඩා අඩුයි.

      ඔව් ඔව් නිදන් හොරු එහෙම දැනටමත් ලෑස්ති වෙලා ඇත්තෙ.. :D

      Delete
  5. කඩා වැටෙන තැන හරියටම දැනගෙන ඩ්‍රැකි,ඉවාන්,මනෝවයි ගිහින් තියමුද?

    ReplyDelete
    Replies
    1. විහාර මහාදේවි බිලිදුන්නා වගේ පොඩ්ඩි බිලිදෙමු බං....

      Delete
    2. අන්න කරනව නම් වැඩ මෙන්ඩො . තුන් දෙනාව පෝළිමට හිටෙව්වම මුළු ඒරියා එකම කවර් වෙයි..

      මනෝ පොඩ්ඩිව බිලි දෙන්න මේක චූටි වැඩි නැද්ද.. පොඩ්ඩිටත් ලැජ්ජාවක්නෙ පොඩි එකකට බිලි වුණාම.. ලොකු එකක් එනකන් ඉමු.. :D

      Delete
    3. මෙන්ඩොඃ...

      ඕක කඩං වැටෙන තැන ට මං ඉස් ඉස්සෙල්ලම ගිහිං මයෙ කොඩිය ගහනව ඒකෙ...

      Delete
    4. ඩ්‍රැකියගෙ කතාව ඇහිලද කොහෙද උඩදිම පුපුරල ගියේ..

      Delete
  6. අද වැටෙන්න ඕනේ නේද? (මට තවම් 12/1/2015)

    ReplyDelete
    Replies
    1. ඔව් අජිත් අයියෙ, ඒත් වැටුණෙ නෑනෙ.. ආ ඔව් වැටෙන්න තිබ්බ වෙලාව වෙනකොට ඔය පැත්තට පාන්දර නේ?

      Delete

සංවාදයට විවෘතයි.

Related Posts Plugin for WordPress, Blogger...