Tuesday, October 28, 2014

වසරකට පසු - ප්‍රථම වර්ෂ පූර්ණය

මන්දාකිණියෙන් ඔබ්බට පිය නගන සංචාරය ආරම්භ කොට වසරක් ගත වී ඇති බවට මෙලෙසින් සටහන් තබන්නේ ඉමහත් සතුටිනි. අධ්‍යාපන කටයුතු නිසාවෙන් මාස 12ක් තිස්සේ බ්ලොග් අඩවිය ලිපි 13කට පමණක් සීමා වුවද , (ඔක්තෝබර් මසට පෙර පළ වී තිබුණේ ලිපි 10කි.) ලිපි කියැවූ වාර ගණන දසදහසකට ආසන්න වීමද සතුටට කාරණයකි. බ්ලොග් අඩවියේ ආරම්භය සහ මෙතෙක් ආ මග පිළිබඳව ලිවීමට සුදුසුම අවස්ථාව මෙය යි.

තාරකා විද්‍යාව පිළිබඳව මා තුළ ආශාවක්, උනන්දුවක් ඇති වූ කාලය නිශ්චිතවම මතකයේ නැති වුවත්, ඒ මා 2 ශ්‍රේණියට ඇතුළත් වීමට පෙර බව නම් කිව හැකිය. ඒ, 2 ශ්‍රේණිය ආරම්භයේදී පන්ති භාර ගුරුතුමිය විසින් අනාගත රැකියාව පිළිබඳව අසන ලද ප්‍රශ්නයකදී මුළු පන්තියෙන්ම මා පමණක් තාරකා විද්‍යාඥයෙකු වීමට අත එසවූ බව හොඳින්ම මතකයේ ඇති බැවිනි. මේ වන විට උසස් අධ්‍යාපනය හදාරමින් සිටින මා තුළ ඒ අදිටන තවමත් එලෙසම පවතී. (ඉදිරියේදී වෙනස් වේදැයි නොදනිමි.) මා තුළ ස්වභාවයෙන්ම පැවති පොත්පත් කියවීමට ඇති රුචිකත්වය වැඩි කරලීමට හේතු වූයේද තාරකා විද්‍යාවයි. මීට පෙර කමෙන්ටුවකදී ද සඳහන් කළ පරිදි, තේරුම් ගැනීම කෙසේ වෙතත් මා ආතර් සී. ක්ලාක් මහතාගේ 2001 පොත කියවන්නේ 3 වසරේදීය. විදුසර පුවත්පත එකතු කිරීම ආරම්භ කරන්නේ 5 වසරේදීය. ප්‍රාථමික අධ්‍යාපනය පිළියන්දල අංක 01 කණිෂ්ඨ විද්‍යාලයෙන් ලැබ, ශිෂ්‍යත්ව විභාගය සමත්ව කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට ඇතුළු වන මා තාරකා විද්‍යා ඇල්ම තවදුරටත් වැඩිදියුණු කර ගන්නේ විද්‍යාලයීය තාරකා හා අභ්‍යවකාශ විද්‍යා සංගමය නිසාවෙනි. සංගමය මගින් එවකට සතිපතා පවත්වන ලද දේශන සහ වැඩමුළු කුඩා අප තුළ විෂයය කෙරෙහි පැවති උනන්දුව තීව්‍ර කිරීමට සමත් විය. එමෙන්ම එම අවධියේදීම ආරම්භ කළ තාරකා විද්‍යා ප්‍රකාශන ආයතනයක් වන S & T Group හි ග්‍රන්ථද, තරුලොව මාසික සඟරාවද අප තුළ උද්දීපනයක් ඇති කළේය.



බ්ලොග් රචනය ගැන පැවසුවහොත් මා මුලින්ම බ්ලොග් ලිවීම ආරම්භ කරනු‌යේ 2008 වසරේදීය. එහෙත් එය මගේ අදහසක් ලෙස ආරම්භ වූවක් නොවේ. එවකට මා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ඉංග්‍රීසි පාඨමාලාවක් හැදෑරූ අතර ඉංග්‍රීසි බසින්  ලියැවුණු එම බ්ලොග් අඩවිය ඇරඹෙන්නේ අපට භාර වුණු ප්‍රායෝගික ක්‍රියාකාරකමක් වශයෙනි. වසර 2ක් පමණ එය පවත්වා ගෙන ආවද, පසුව ඒ පිළිබඳව තිබූ උනන්දුව හීන වීම සහ අධ්‍යාපන කටයුතු හේතුවෙන් එය අත්හැර දැමේ. පසු කලෙක අහම්බයකින් සිංහල විද්‍යා බ්ලොග් අඩවියක් (දැන් කුමන හෝ හේතුවක් නිසා එම අඩවිය අන්තර්ජාලයේ නොමැත.) දකින මා තුළ නැවත බ්ලොග් අඩවියක් සිංහල බසින් ලිවීමේ ආශාවක් හට ගැණුනි.


ලංකාවේ එතරම් ප්‍රචලිත නැති මෙම විෂයය පිළිබඳව කුඩා කල පටන්ම වසර ගණනක් තිස්සේ පොතපතින් මා ලත් දැනුම අන් අයටද ලබා දීමේ අරමුණින් යුතුව මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවිය ඇරඹෙන්නේ එලෙසය.


ආරම්භයේදීම ඉල්ලුම් කළ සැනින් බ්ලොග් අඩවිය සින්ඩිකේටරයට ඇතුළත් කොට සහයෝගය ලබා දුන් මාතලන්, බ්ලොග් අඩවියේ මුල්ම කමෙන්ටුවෙන් මා දිරිමත් කළ අරූගේ අඩවිය ලියන අරූ, නිතරම කමෙන්ටු මගින් දිරි ගැන්වීම් කරන බස්සි වැනි බ්ලොග්කරුවන්ද අනිවාර්යයෙන්ම ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතුමය. එමෙන්ම මෙතෙක් බ්ලොග් අඩවිය සමග නිරතුරුවම රැඳී සිටි ගීත්මා, +Dinesh Umagiliya, මහා කළු සිංහලයා+දේශක යා+Mahesh Rathnayaka+Shehan Senadheera, +අටම් පහුර, හංසි, තුශානි, දනුල ඇතුළු අනෙකුත් කී නොකී සියළුම සහෘදයන්ටද, සහය දෙන සියළු සින්ඩිකේටර වලටද මාගේ නොමද ප්‍රණාමය හිමි වේ.

මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවියෙහි පළ වූ මුල් ලිපි කිහිපයම පාහේ පිටසක්වළ ජීවය පිළිබඳව වුවද, දැන් තාරකා විද්‍යාත්මක ලිපි අඩුපාඩුවද මගහැරී තිබේ. බොහෝ විට ඊළඟ මස සිට ෆේස්බුක් පිටුව හරහා "සතියේ ඡායාරූපය" විශේෂාංගයද ආරම්භ වනු ඇත. ලිපි ලිවීමේදී හැකිතාක් සරලව සහ ආකර්ෂණීය ලෙස ලිවීමට උත්සාහ කෙරෙන්නේ විද්‍යාත්මක පසුබිමක් නොමැති, මෙම විෂයය පිළිබඳව උනන්දුවක් නොමැති පාඨකයන්ද ආකර්ෂණය කර ගැනීම සඳහා ය. තවමත් නිශ්චිත ලෙස විද්‍යාත්මකව ‍‍සනාථ වී නැති බර්මියුඩා ත්‍රිකෝණයේ සැඟවී ගිය Flight 19 බලගණය, ලොව කැළඹූ බර්මියුඩා ත්‍රිකෝණය, දෙදරා ගිය තුන්ගුස්කාව ආදී “අත්භූත ගණයේ සිදුවීම්“ පිළිබඳ ලිපිද විටින් විට මෙහි පළ වන්නේ එම නිසාවෙනි. එහෙත් මෙමගින් කිසිදු ආකාරයකින් මිථ්‍යාව වැපිරීමක් සිදු නොවන අතර බොහෝ විට අදාළ සිදුවීමේ ඇති අවිනිශ්චිතභාව‍‍ය පිළිබඳව ලිපියේම සඳහන් කෙරේ. එමෙන්ම පියාඹන පීරිසි..??? |දෙවන කොටස|, "මම ඔබ දෙස විමසිල්ලෙන් බලා සිටිමි." වැනි මිථ්‍යා මත වලට ඍජුව පහර දෙන ලිපිද මෙහි පළ වේ. තාරකා විද්‍යාව ලංකාවේ ප්‍රචලිත කිරීමට ඉතා සුළු ප්‍රමාණයකින් හෝ දායක වීමට ලැබේ නම් එය මා හට සතුටකි. (විද්‍යා බ්ලොග් අඩවි හිඟය පිළිබඳව පසුගිය දින වල බ්ලොග්කරුවන් අතර ඇති වී තිබූ සංවාදය දුටුවෙමි. තව තවත් සිංහල විද්‍යා බ්ලොග් අඩවි ආරම්භ වේවා යන්න මගේද පැතුමයි.)

මාස 12ක් ගත වූවා පමණි... අවසානයක් නොවේ.....    

24 comments:

  1. තිබ්බ පා සටහන්
    හැරිල බලන කොට පේන දුරක ඇති
    ආපහු බලන්න පුලුවන් ඇති...
    ඒ වුණත් උඹට පේනවද ඉස්සරහට
    කොයි තරං දුරක් හිස් අවකස තිබෙනවාද...
    ආ ලෙසින්ම තරු අතරට
    නොනවත්වන් මේ දිගු ගමන
    ආදරෙයි අපිත් තරු වලට.....


    ජයෙන් ජය මලේ මේ ආව දුර වගේම ඊටත් වැඩි දුරක් ඉස්සරහට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා

    ReplyDelete
    Replies
    1. ෂාහ්..!
      බොහොමත්ම ස්තූතියි මහේෂ් අයියේ සුභ පැතුමට... :)

      Delete
  2. ලොකු කාලයක්... පොඩි ගමනක් වුනත් මගෙත් ආසම කරන විෂයක් මේක. පොඩ්ඩක් නොවෙයි. ගොඩක්. කොහොම උනත් අවුරුද්දට සුභ පතුම් පතනවා. අහස ගැන මේකෙ පලවෙන හැම ලිපියක්ම මමත් කියවන බව අනිවාර්‍යයි. තව ලියන්න. බ්ලොගයටත් ඔබත් ජය..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලංකා.. ඒ වගේම සින්ඩිකේටරයෙන් ලබා දෙන සහයෝගයටත් ස්තූතියි... :)

      Delete
  3. "ඉහල බැලීමෙන් මට පහල පෙනේ"

    -ජොහැන්නස් කෙප්ලර්-

    දුර ඈත විශ්වයට
    පියනගන්න ඔබ සමඟ
    ආලෝක වර්ශ ගනන්
    පියාසර කරන්නට
    කප පවතින තුරු
    නොනිමි දුර ගමනකින්
    සංචාරය කරමු මන්දාකිනි මැද්දෙන්..

    සුබම සුබ පැතුම්!!
    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. අද නියම කවි/ නිසඳැස් ටිකක් ලැබෙනව වගේ.. :) බොහොමත්ම ස්තූතියි මනෝෂ්..!
      ඔබටත් ජය වේවා..! :)

      Delete
  4. එහෙනං දැන් අවුරුද්දක් !!!
    අපෙන් උණුසුම් සුභපැතුම්!!!
    තව තවත් "හදවත් විකසිත කරවන්නයි - නැණනුවනින් බල ගන්වන්නයි" ඔබට හැකි වේවායි විකසිත සින්ඩියේ අපි ඉත සිතින් ප්‍රර්ථනා කරමු. ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බුද්ධික..
      ඒ වගේම සින්ඩිකේටරයෙන් ලබා දෙන සහයෝගයටත් ස්තූතියි. :)

      Delete
  5. උණුසුම් සුභ පැතුම්!!!!! තවත් ගොඩාක් දුර යන්න ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිතුම් සයුර.. :)

      Delete
  6. දිගු ගමනකට උණුසුම් සුබ පැතුම්...

    ReplyDelete
  7. ආහ් අපිවත් මතක් කරලා තියෙන්නෙ..!!!!! අවුරුද්දකුත් වුණා එහෙනං..????? මුලින්ම බ්ලොග් එකට සුභ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    අවුරුදු 14ක් තිස්සෙ අනාගත බලාපොරොත්තුව වෙනස් වෙන්නෙ නැතුව, දහසකුත් එකක් ප්‍රශ්න අභියෝග මැද තාමත් ඒ විදිහටම තියෙන එක ගැන නම් ඇත්තටම පුදුමයි. ඉතින් අපි හැමෝගෙම ප්‍රාර්ථනාව අශාන්ගෙ ඒ ඉලක්කයට යන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියලයි. එහෙම වුණොත් අපිට තවත් සරත් ගුණපාල කෙනෙක් දකින්න ලැබෙයි :)

    බ්ලොග් එක ගැන කියනවා නම්....... නිතර දෙවේලෙ යැවෙන බ්ලොග්ස් අතරින් හොදම හොද බ්ලොග් එකක්. විෂය රසවත් නිසා දාන දාන දේවල් ආසාවෙන් කියවනවා. දන්නෙ නැති ගොඩක් දේවල් ගැන දැන ගන්න වගේම, දන්න දේවල් ගැන තව තවත් දැන ගන්න පුලුවන්. ඒ නිසා කාලය, ශ්‍රමය, ලයිට් බිල වැය වුණාට, මේකෙන් මේ විෂය ගැන ආස කරන අයට තියෙන ප්‍රයෝජනය නම් කියලා නිම කරන්න බෑ.

    ඉතින් බ්ලොග් එකේ ඉදිරි වැඩ කටයුතුත් හොදින් කරගෙන යන්න පුලුවන් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..!!!!!! ජයෙන් ජය..!!!!!

    ReplyDelete
    Replies
    1. පුලුවන් නම් ඉස්සරහට ලංකාවෙන් මෑත කාලයේ වාර්තා වුණු (2000 ඉදලා වගේ) පිටසක්වල ජීවීන් ගැන, පිටසක්වල යානා ගැන තියෙන විස්තර, ප්‍රවෘත්ති, පින්තූර, ඒව්වා දැක්කාය කියන අය කියපු කතා, ඒවා ගැන ඔයාගෙ මත... ගැන එහෙම දාලා ලිපි පෙළකුත් ලියන්න :)

      Delete
    2. මතක් නොකර කොහොමද බ්ලොග් එකේ බැනර් එකකුත් ඔයාගෙ වෙබ් සයිට් එකට දාපු එකේ.. :D අවුරුදු 14ක් ආවට ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ.. තාමත් ලංකාවෙ තැනක් නැහැනෙ මේ ක්ෂේත්‍රයට..
      බොහොමත්ම ස්තූතියි දනුල සුභ පැතුමට සහ දිරිමත් කිරීමට.. :)
      අනිවාර්යයෙන්ම ඉස්සරහට ඒවා ගැනත් ලියන්නම්.. :)

      Delete
  8. අවුරුද්දක් කියන්නේ එසේ මෙසේ කාලයක්ද නෑනෙ.අනිවාර්යෙන් සමරන්න ඕන.කෝ ..කේක් ?? :D ..සතුටුයි මේ ආ මග....කඩාවැටෙන වල්ගා තරුවක් නොවී හැමදාම දිලෙන තරුවක් වගේ ලියාගෙන යන්නෝ ... ජයවේවා. ඔන්න සුබපැතුමක් මන්දාකිණියෙන් ඔබ්බටම යැව්ව... ;) :)

    ReplyDelete
    Replies
    1. අන්න හිරවෙන තැන. :/
      ක්..කෙ...කේක්..මේ..මම මේ....ක්..කේක්... ඒක නෙමෙයි, මේ දවස් වල හරි වැස්ස නේද? :3 :D
      බොහොමත්ම ස්තූතියි හංසි සුභ පැතුමට. :)

      Delete
    2. අහ්හ් ..වැස්සට කේක් වල අයිසිං දියවෙනව වෙන්ටැති නෙ ? :P

      Delete
    3. අන්න ඒක තමයි සිද්ධ වුණේ.. නැත්තන් මම කේක්‌ දෙන්න හිටියෙ.. :v

      Delete
  9. තිමිර පට ඉරාගෙන
    විශ්වයේ අනන්තෙට
    පා නගනු මැන ඉතිං
    සුබ පැතුම් ඉතසිතින්

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ඔබට...! :)

      Delete
  10. මම මේ බ්ලොග් අඩවියට කැමති හේතු දෙකක් නිසා.

    1. යූ.එෆ්.ඕ.ලොජි කියන්නෙ මම දෙක/තුන වසරවල ඉඳන් පිස්සු හැදිලා වගේ කියවපු/තොරතුරු හොයපු විෂයයක්
    2. අනිත් ගොඩක් බ්ලොග් අඩවි තමන්ගෙ නිර්මාණකරණයට/දේශපාලන සංවාදවලට/පුරාජේරුවට ආදී දේවල් මත නිර්මාණය වෙද්දි මේ විදියෙ වෙනස්ම ආකාරයක බ්ලොග් අඩවියක් පටන් ගන්න එක ලොකු අභියෝගයක්. අභියෝගයක් ජයගන්න පුලුවන් පුද්ගලයෙක් කියන්නෙ "පොරක්"

    උණුසුම් සුභපැතුම් මල්ලි! මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් සවාරිය ඉදිරි වසරවලදීත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!

    ReplyDelete
    Replies
    1. සිංහල බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත නිසා මට අඳුනගන්න ලැබිච්ච අයගෙන් ඉස්සරහින්ම ඉන්න කෙනෙක් තමයි බස්සි අක්කා.. පටන් ගැන්මේ ඉඳන්ම කරපු දිරිගැන්වීම් අමතක කරන්න බැරි තරම්..
      බොහොමත්ම ස්තූතියි අක්කේ සුභ පැතුමට..! :)

      Delete

සංවාදයට විවෘතයි.

Related Posts Plugin for WordPress, Blogger...