Monday, December 15, 2014

බ්‍රිතාන්‍යය සලිත කළ අත්භූත පිපිරුම් හඬ

මීට සති දෙකකට පමණ පෙර, පසුගිය නොවැම්බර් 29 සෙනසුරාදා දින රාත්‍රියේ ට්විටර් සමාජ ජාලය හදිසියේම පිරී ඉතිරී ගියේ තමන්ට අභිරහස් පිපිරුම් හඬ කිහිපයක් අසන්නට ලැබුණු බව පවසමින් එන්ගලන්ත වැසියන් විසින් #loudbangs, #omgwereallgoingtodie වැනි හෑෂ්ටැග්ස් සමග පළකරන ලද ට්වීට් සටහන් වලිනි. ලන්ඩනයේ සිට ග්ලාස්ගෝ, බටහිර සසෙක්ස්, බෙඩ්ෆෝර්ඩ්ෂයර්, උතුරු ඩෙවොන් වැනි ප්‍රදේශ දක්වා වූ විශාල වපසරියකට ශ්‍රවණය වූ මේ පිපිරුම් හඬ හේතුවෙන් සමහර ස්ථානයන්හි වීදුරු ජනේල, දොරවල් දෙදරා ගිය බවද, සුරතල් සුනඛයින් භීතියෙන් වියරු වැටුණු බවද වාර්තා විය. රාත්‍රී 10 - 10.30 පමණ වද්දී මෙම සිදුවීම් පෙළ වාර්තා වුණි. සති දෙකක් ඉක්ම ගොස් තිබේ. සැබැවින්ම සිදුවූයේ කුමක්ද? ස්වභාවික සංසිද්ධියක්ද? රජයේ රහස් මෙහෙයුමක්ද? එසේත් නැතිනම් සමහරුන් කියනා ආකාරයට මිනිසා එලෙස අත්දුටුවේ යම් පිටසක්වළ යානයක ආගමනයද?





අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පාර්ශව මගින් ඉදිරිපත් කෙරී ඇති විද්‍යාත්මක පැහැදිලිකිරීම් සහ ඊට පරිබාහිර මත කිහිපයක් අපක්ෂපාතීව විශ්ලේෂණය කිරීම මෙම ලිපියේ අරමුණ යි.

ජෙට් යානයක උත්ස්වනික ගිගිරුම - Sonic Boom of a Jet

ට්විටර් සමාජ ජාලය හරහා මෙම සිද්ධියට පුළුල් ප්‍රචාරයක් ලැබීමත් සමග බොහෝදෙනෙක් මෙම පිපිරුම් මාලාව ප්‍රහාරක යානයක් හෝ යානා කිහිපයක් අහසේ අධික වේගයකින් ගමන් කිරීමේදී ඇති වූ උත්ස්වනික ගිගුරුම් (sonic booms) විය හැකි බව අනුමාන කළහ. මන්ද යත්, ඊට සති කිහිපයකට පෙර කෙන්ට් ප්‍රාන්තයේ වැසියන්ද මෙවැනිම පිපිරුම් හඬක් ශ්‍රවණය කළ අතර පසුව හෙළිදරව් වූයේ බ්‍රිතාන්‍ය ගුවන් කලාපයට අනවසරයෙන් ඇතුළු වූ ලැට්වියානු සිවිල් ගුවන් යානයක් හඹා යාමට අහසට නැගුණු රාජකීය ගුවන් හමුදාවේ (Royal Air Force - RAF) ටයිෆූන් ප්‍රහාරක යානා දෙකක උත්ස්වනික ගිගුරුම් මගින් එම හඬ නිකුත් වූ බවයි.

අධිවේගී ගුවන් යානාවක් ශබ්දයේ වේගය (332 msˉ¹) ඉක්මවා ගමන් කරන අවස්ථාවකදී එම ගුවන් යානය වටා කේතුවක හැඩයට පීඩන තරංගයක් ගොඩනැගෙයි. යානය තමන්ගේම ශබ්දයට වඩා වැඩි වේගයකින් ගමන් කරමින් සිටින නිසා පොළොව මත සිටින්නෙකු මුලදී කිසිදු ශබ්දයකින් තොරව යානය දකින අතර යානය වටා ඇති කේතු ආකාර පීඩන තරංගය ඔහු පසුකර යද්දී පිපිරීම් හඬක් ඇසේ. යානයේ වේගය අනුව පිපිරුම් ශබ්දයේ ප්‍රබලතාවද, කේතුවේ හැඩයද වෙනස් වෙයි.



෴උත්ස්වනික ගිගුරුම ඇති වන අයුරු෴

කෙසේ වෙතත් මෙම මතයේ තර්කානුකූල බව හා ප්‍රායෝගික බව අඩුය. ඊට හේතු කිහිපයක් තිබේ. සිදුවීමට පසුදින මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කළ බ්‍රිතාන්‍ය රාජ්‍යාරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ සෙනසුරාදා දින රාත්‍රියේ රාජකීය ගුවන් හමුදාවට අයත් කිසිදු ප්‍රහාරක යානාවක් අහස්ගත නොවූ බවත්, වෙනත් ගුවන් යානයක් බ්‍රිතාන්‍ය ගුවන් කලාපයට අනවසරයෙන් ඇතුළු වීමක්ද වාර්තා නොවූ බවත් ය. අනෙක් අතට උත්ස්වනික ගිගිරුමක් පැය භාගයක පමණ කාලයක් තිස්සේ වරින්වර ඇසෙන්නේ කෙසේද යන්න ගැටළුවකි. ප්‍රහාරක යානාවක් කුඩා වන නිසා එය ශබ්දයේ වේගය ඉක්මවා යන අවස්ථාවකදී ඇසිය යුත්තේ එක් ගිගිරුම් හඬකි. ශබ්දයේ වේගය ඉක්මවා යා හැකි මගී ගුවන් යානයක් වූ කොන්කෝඩ් යානාවකින් නම් එහි විශාලත්වය නිසා යානයේ ඉදිරිපසින් (nose) හා පසුපසින් (tail) උත්ස්වනික ගිගුරුම් දෙකක් ඇසිය හැකිය. එහෙත් පරිසර දූෂණය නිසාවෙන් මීට වසර ගණනකට පෙර කොන්කෝඩ් යානා භාවිතයෙන් ඉවත් කෙරිණ.

 

ගිනිකෙළි සංදර්ශන - Fireworks

උක්ත සිද්ධියෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් මෙට්‍රොපොලිටන් පොලීසිය පැවසූයේ සෙනසුරාදා රාත්‍රියේ ක්‍රොයිඩන්හි පැවති ගිනිකෙළි සංදර්ශනයකින් මෙම පිපිරීම් හඬ නිකුත් වූ බවයි. පිපිරුම් හඬ පිළිබඳව වාර්තා කළ අයගෙන් සාපේක්‍ෂව බහුතරයක් දකුණුදිග ලන්ඩනයේ ක්‍රොයිඩන් ආශ්‍රිතව වෙසෙන්නන් වීම මෙම මතය යම් පමණකට තහවුරු කළද ඊට වඩා බොහෝ ඈත ප්‍රදේශ වලටද ගිගිරුම් හඬ ඇසුණේ කෙසේද යන්නෙහි ගැටළුවක් තිබේ.





මහා පරිමාණ බියගැනීම් - Mass Panic

සමාජ ජාල වෙබ් අඩවි මිනිස් ජීවිතයේ ප්‍රධාන අංගයන් වී ඇති වර්තමානයේ මහා පරිමාණ බියගැනීම් බොහෝ සේ සාමාන්‍යකරණය වී තිබේ. Mass Hysteria ලෙසද හැඳින්වෙන මෙම මානසික ක්‍රියාවලිය හේතුවෙන් එක් අයෙකු තමා සැබැවින්ම අත්විඳි දෙයක් වාර්තා කළ විට තවත් බොහෝදෙනෙකු එය මනසේ මවාගනිමින් තමාද එය අත්විඳි බව පවසයි. තවත් සමහරෙක් මෙම 'අභිරහස් ප්‍රවෘත්තිය' තව තවත් වැඩිදියුණු කිරීම සඳහා ඕනෑකමින්ම තමනුත් එහි කොටස්කරුවෙකු වෙමින් එය රසවිඳියි.


මෙම මතය සහ ගිනිකෙළි සංදර්ශන මතය යන දෙකම මගින් නම් වඩාත් ප්‍රබල හා තාර්කික මතයක් ගොඩනැගිය හැකි බව ඔබට පෙනෙනු ඇත.


උල්කාපාත කඩා වැටීම් - Meteors

බොහෝ අවස්ථාවන්හිදී අභ්‍යවකාශයේ ගමන් ගන්නා උල්කාවන් පෘථිවි ගුරුත්වය නිසා පෘථිවිය මතට කඩා වැටෙන අතර ඉන් බහුතරයක් ඉහළ වායුගෝලයේදීම දැවී විනාශ වී යයි. එහෙත් ප්‍රමාණයෙන් විශාල උල්කාපාත සම්පූර්ණයෙන් නොදැවී පෘථිවියට කඩා වැටීම හෝ ඉහළ අහසේදී පුපුරා යාම සිදුවේ. 2013 වසරේ මාර්තු මස රුසියාවට කඩා වැටුණු විශාල උල්කාපාතයේ පිපිරුම් හඬ ඉන් සැතපුම් 9,000ක් පමණ ඈතින් පිහිටි ඇන්ටාක්ටිකාවටද ඇසීමට තරම් ප්‍රබල විය. එහෙත් නොවැම්බර් 29 දින එවැනි විශාල මට්ටමේ උල්කාපාත කඩා වැටීමක් සිදුවූ බවක් නම් වාර්තා වී නොමැත.


අභ්‍යවකාශ සුන්බුන් කඩා වැටීම් - Space Debris

ක්‍රියාවිරහිත වූ චන්ද්‍රිකා, වෙනත් අභ්‍යවකාශ යානාවන්ගෙන් ඉවත් කළ අනවශ්‍ය කොටස් ආදී අභ්‍යවකාශ සුන්බුන් පෘථිවි කක්ෂය පුරා පැතිර පවතී. බොහෝවිට මේවා එලෙස කක්ෂගතවම තිබෙන්නට ඉඩ හරින අතර සමහර අවස්ථාවන්වලදී ඒවා ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ පෘථිවියට (බොහෝවිට සාගරයට) කඩා වැටීමට සලස්වයි. එවිට එම කඩා වැටෙන සුන්බුන් මගින් උත්ස්වනික ගිගිරුම් ඇති වීම හෝ ඒවා ඉහළ අහසේදී පුපුරා යාම සිදුවිය හැකිය.




කාළගුණයේ හදිසි වෙනස් වීම් - Weather Phenomenon

මෙයද තරමක් දුරට ප්‍රබල මතයකි. 29 රාත්‍රිය වර්ෂාවෙන් හා සුළඟින් තොර, පැහැදිලි අහසක් තිබුණු රාත්‍රියක් බව සිදුවීම අත්විඳි සෑමදෙනාම පාහේ ප්‍රකාශ කළද, වර්ෂාවකින් හෝ වෙනත් කිසිදු පූර්ව ලක්ෂණයකින් තොරව එක්වරම අකුණු ඇති වීමට ඇති හැකියාව පහසුවෙන් බැහැර කළ නොහැකිය. එමෙන්ම කුඩා ප්‍රමාණයේ භූමිකම්පා (Earth Tremors) නිසාද මෙවැනි ශබ්දයන් ඇසිය හැක.




හමුදා යුධ අභ්‍යාස - Military Exercises

හමුදා කඳවුරු තුළ හා සාගරයේ කෙරෙන යුධ අභ්‍යාසයන් නිසා මෙවැනි පිපිරීම් හඬ ඇති විය හැකිය. උක්ත සිදුවීමට දින කිහිපයකට පෙර යුධ අභ්‍යාසයක යෙදී සිටි රුසියානු යුධ නැව් කිහිපයක් බ්‍රිතාන්‍ය සාගර කලාපයට අනවසරයෙන් ඇතුළු වූ බවද, රාජකීය නාවුක හමුදාව විසින් ඒවා හරවා යවන ලද බවද වාර්තා විය.


ත්‍රස්තවාදී ප්‍රහාර - Terrorist Attacks

ISIS සංවිධානයේ නැගී සිටීමත් සමග බ්‍රිතාන්‍යය අන් කවරදාකටත් වඩා ත්‍රස්තවාදී තර්ජනවලට ලක් වී තිබේ. එහෙත් මෙම පිපිරීම් හඬ ත්‍රස්ත ප්‍රහාරයක් නම් ආරක්ෂක අංශ අනිවාර්යයෙන්ම පසුව හෝ ඒ පිළිබඳව දැනුවත් වී තිබිය යුතුය.







මෙම පිපිරීම් මාලාව සම්බන්ධයෙන් ඉහත සඳහන් මතවලට අමතරව කුමන්ත්‍රණවාදී මත (Conspiracy Theories) කිහිපයක්ද ඉදිරිපත් කෙරී තිබේ.

රහස් ගුවන් යානාවක මෙහෙයුමක් - A Secret Spy Plane 

මෙම සිද්ධියෙන් දින කිහිපයකට පසු එන්ගලන්තයේ වෙසෙන ඉන්ජිනේරු පර්යේෂක ආචාර්ය භූපේන්ද්‍රා කන්දෙවාල් පැවසූයේ අදාළ පිපිරුම් හඬ ඔවුන් මේ දිනවල පර්යේෂණ කරමින් සිටින ස්පන්දන පිපිරුම් එන්ජිමේ (Pulse Detonation Engine) හඬට බොහෝසෙයින් සමාන බවයි. ඒ සමගම රහස්‍ය ගුවන් යානයක් පිළිබඳව සැකයක් මහජනයා අතර පැතිරිණි. මෙම මතය දරන්නන් පවසන්නේ ඇමෙරිකානු රජය අසූව දශකයේ පමණ සිට අතිශය රහසිගතව නිපදවමින් සිටින අවුරෝරා නම් වූ අධිතාක්ෂණික ඔත්තු බැලීමේ ගුවන් යානාව 29දා රාත්‍රියේ බ්‍රිතාන්‍ය අහසේ ගමන් කළ බවයි. නමුත් ඇමෙරිකානු රජය වසර ගණනක් තිස්සේම අවුරෝරා නමින් කිසිදු ව්‍යාපෘතියක් නොමැති බව පවසමින් මෙවැනි මතයන් ප්‍රතික්ෂේප කරමින් සිටී.


පිටසක්වළ යානාවක ආගමනය - An Alien Spaceship

නොවැම්බර් 29 දින රාත්‍රියේ බ්‍රිතාන්‍ය අහසේ සැරිසැරූ පිටසක්වළ යානයක් මගින් මෙම අභිරහස් පිපිරීම් හඬ නිකුත් වන්නට ඇති බව සමහරුන්ගේ මතය යි. මීට පෙරද මෙවැනි හඳුනා නොගත් යානාවන් රේඩාර් පද්ධතිවලට හසු නොවී ගමන් කර ඇති බවද, බ්‍රිතාන්‍ය රජය මෙම සිදුවීම සම්බන්ධයෙන් යම්තාක් දුරකට නිහඬ පිළිවෙතක් අනුගමනය කරනුයේ සිදුවූයේ කුමක්දැයි ඔවුන් දන්නා නිසා බවද මෙවැනි මතධාරීන් පවසති.


මෙවැනි මත බොහෝ පුද්ගලයන් විසින් විවිධ අවස්ථාවන්හිදී ඉදිරිපත් කර ඇති අතර ඒවායෙහි ඇති අත්භූත හා ආකර්ෂණීය බව නිසා ඉක්මණින්ම ප්‍රසිද්ධියට පත් වෙයි. එහෙත් මේවායේ ඇති විද්‍යාත්මක ස්වභාවය ප්‍රශ්නකාරී ය.

මමද පෞද්ගලිකව මිනිසා බිහිවී සම්භවය වූවා ලෙසම විශ්වයේ විවිධ ස්ථානයන්හිදී විවිධ ජීවීන් බිහිවන්නට ඇති බව හා මිනිසාට වඩා දියුණු පිටසක්වළ ජීව විශේෂ ඕනෑතරම් සිටිය හැකි බව තරයේ විශ්වාස කරන්නෙක්මි. නමුත් පිටසක්වළයින් පෘථිවියට පැමිණෙනවා යැයිද, මෙවැනි අත්භූත සිදුවීම් පසුපස සිටින්නේ ඔවුන් යැයිද පැවසීමට තරම් අප හදිසි විය යුතුද යන්න ගැටළුවකි. වාර්තා වන සිදුවීම් වලින් 3% - 4% පමණ සුළු ප්‍රමාණයක් සැබැවින්ම පැහැදිලි කළ නොහැකි සිද්ධීන් තිබුණද, පිටසක්වළ ජීවීන් පෘථිවියට පැමිණෙන බව නිශ්චිතවම ඔප්පු කිරීමට සමත් සාක්ෂි තවමත් ලැබී නොමැත. එමෙන්ම මෙවැනි මතයන් සත්‍ය බව ඔප්පු වී නැතිවාක් මෙන්ම අසත්‍ය බව ඔප්පු වී නැති බවද අප වටහාගත යුතුය.

අවසානයේ පැවසීමට ඇත්තේ මෙම පිපිරීම් හඬ මාලාවද තවත් විසඳුම් නැති අභිරහසක් වූ බව පමණි. බොහෝවිට නුදුරු අනාගතයේදී මේ සඳහා හේතු වූ කාරණාව සොයාගැනෙනු ඇත. එය ගිනිකෙළි සංදර්ශනයක් විය හැකිය. හදිසියේ හටගත් අකුණු කිහිපයක්ද විය හැකිය. එහෙත්... එය සැබැවින්ම පිටසක්වළ යානාවක් නම් මිනිසාගේ ප්‍රතිචාරය කෙබඳු වනු ඇත්ද?

  •  සිදුවීම පිළිබඳව තොරතුරු සඳහා Daily Mail වෙබ් අඩවිය මූලාශ්‍ර කරගැණිනි.

21 comments:

  1. //මෙම පිපිරීම් හඬ මාලාවද තවත් විසඳුම් නැති අභිරහසක් වූ බව පමණි.//

    කවුරුවත් නොමිනේශන් බාර දුන්නෙ නැද්ද එහෙ?
    සමාවන්න මතක නැතිවුනා අවු 2500 සයින්ස්කෘතියක් තියන රටවල විතරනේ පුපුරන්න නොමිනේශන් දෙන්නෙ.
    කන පැලෙන්න ආගමික සද්දවත් නැති සදාචාරයක් නැති රටවල්නේ ඒවා.

    ReplyDelete
    Replies
    1. ඕක මෙහෙ වුණා නම් මෙච්චර කිලෝබයිට් ගණන් ලියන්න ඕනෙත් නෑ එක හේතුවයිනෙ තියෙන්නෙ..

      Delete
  2. අම්මේ වෙන්න පුළුවන් දේවල් ගැන හිතත්දිත් බය හිතෙනවා... අැත්තට ම අපි ඉන්නේ මේ විදිහ දේවල් වෙන්න පුළුවන් ලෝකයක නේද කියලා හිතත්දි බය හිතෙනවා..............

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. අපි දකින, හිතන දේට වඩා නොදකින‍‍, නොහිතන දේ බොහොමයි..

      Delete
  3. පිටසක්වල ජීවීන් ඇති බවට මම ද තරයේ විශ්වාසකරමි. නමුත් ඔවුන් කිසිසේත්ම කිසිම විද්‍යා ප්‍රබන්ධයක දැක්වෙන ආකාරයට නොව වෙනම ආකෘතියක් විය හැක. ඔවුන් මෙහි පැමිණීම යන්නද අවිනිශ්චිතය. සසම්භාවීය.
    ලිපිය රසවත් වෙනදා වගේම.

    ReplyDelete
    Replies
    1. 100%ක් එකඟයි..

      // නමුත් ඔවුන් කිසිසේත්ම කිසිම විද්‍යා ප්‍රබන්ධයක දැක්වෙන ආකාරයට නොව වෙනම ආකෘතියක් විය හැක. //

      මාත් ලිව්වා ඕක ගැන.
      සැබැවින්ම පිටසක්වළ ජීවයක් පැවතිය නොහැකිද?

      බොහොම ස්තූතියි මධුමාධවී...

      Delete
  4. ඔයවගේ දෙයක් ලංකාවෙ උනොත් පොලිස් මාද්ද පෙකාසක කියන දේවල් මතක් වෙලා මට හිනා ගියා.

    ReplyDelete
    Replies
    1. මාස ගාණක් යනකම් පරීක්ෂණ කරමින් පවතිනවා කියයි නේහ්?

      Delete
  5. //The best proof that there's intelligent life in outer space is the fact that it hasn't come here//

    http://www.clarkefoundation.org/sample-page/sir-arthurs-quotations/

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව.. බුද්ධිමත් නම් එක්කො මගෑරල යන්න ඕන නැත්නම් කළකිරිල ආපහු හරවගෙන යන්න ඕන..

      Delete
  6. අප ඉන්න පැත්තේ නම් ඇහුනේ නැහැ. අර ටයිෆුන් නම් වේල්ස් පැත්තට ගිය කාලේ දැක්ක. ඒවා හරිම සද්දයි තමා .

    ReplyDelete
    Replies
    1. ලන්ඩන් වලද? මම මේ කතාව දැක්කට පස්සෙ youtube එකේ බැලුවා, sonic boom නැතත් මාරම සද්දයක් තියෙන්නෙ නේද? මේ කලින් සිද්ධියෙන් පස්සෙ RAF එක මිනිස්සුන්ගෙන් සමාවත් ඉල්ලුවලු..

      Delete
  7. සමහර විට Mass Panic කියන උපකල්පනය හරි වෙන්නත් පුලුවන්
    මොකද කෙනෙත් තවත් කෙනෙක් කියපු දේ අහල ඒ දේ අනික් අයව ආකර්ශනය කරවන රසවත් විරාර දෙයක් නං ඒ ගැන අන්‍යන්ට කියන්න කැමතී
    හරියට තමන්ටම වුණා වගේ
    සමහර විට මේක බොරුවක් වුණතු අන්තිමේ ඇත්ත.් විදියට ම හිතන්නත් තමන්නෙ හිත හැදන්න පුලුවන්
    එතකොට බොරුව ඇත්ත වෙලා

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ් අයියෙ ඔය මතයයි, අකුණු හරි මල්වෙඩි හරි මතයකුයි එකතු කළොත් නම් බොහොම ප්‍රබල මතයක් හදන්න පුළුවන්..

      ඔය වගේ දේවල් හැමතැනම අනන්තවත් වෙනවා. මෙහෙත් සමහර කාලවලට කවුරුහරි කෙනෙක් UFO එකක් දැක්ක කිව්ව ගමන් හැමෝටම හතරවටෙන්ම UFO පේන්න ගන්නෙ..

      Delete
  8. ඕක එංගලන්තේ පැත්තටම ආවේ ඇයි දන්නේ නෑ...:P

    ඔයාගේ බ්ලොග් එකට එනකොටම දැනෙන්නේ විශ්වයේ අභිරහස් හොයාගන්ට අපිත් ඇවිත් කියලා. :D

    ReplyDelete
    Replies
    1. එන්ගලන්තෙ ක්‍රිකට් සීරීස් එක පැරදුණ හින්දද දන්නෙත් නෑ.. :D

      ඒ වුණාට කවද හොයල ඉවර කරගන්න පුළුවන් වෙයිද දන්නෑ අක්කෙ.. :D

      Delete
  9. උල්කාවක් හරි වෙන යානයක් හැටි කඩා වැටුනානම් සුන්බුන් තියෙන්න ඕන නේද ?.. මේ මං මොන ලෝකෙද ඉන්නෙ අශාන් මේ ලිපිය දානකන් මම මෙහෙම දෙයක් උනාද කියල දන්නේ නෑනෙ :/

    ReplyDelete
    Replies
    1. ඔව් හංසි, අනික දැන් තියෙන තාක්‍ෂණ දියුණුව නිසා එහෙම විශාල දෙයක් කවුරුවත්ම නොදැනුවත්ව කඩා වැටෙන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. එන්ගලන්තයට කඩා නොවැටී ඒ හරහා ගියත් පස්සෙ හරි ඒක ගැන ආරංචි වෙන්නම ඕන..

      මේක ලංකාව පැත්තෙ එච්චර ප්‍රසිද්ධ වුණේ නෑ මං හිතන්නේ, මමත් අහම්බෙන් ඩේලිමේල් එකේ දැක්කෙ..:D

      Delete
  10. ලංකාවේ පසුගිය ඡන්ද කාලවලදීනම් පිටසක්වල යානා ආවා කියලා ප්‍රචාරයක් යැව්වා. ඩලස්ගේ සෙඩ් එකකින් තෙලුත් ගැහුවාලු. මේ පාර තාම එක යානයක්වත් ආවේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඡන්දෙ දාන්න ආවද, ස්වාධීන නිරීක්ෂකයෝ විදිහට ආවද දන්නෙ නෑ..
      8 වෙනිදා කිට්ටු කරල එයි එහෙනම්, නාමයෝජනා දෙද්දිම එහෙන් පිටත් වෙන්න ඇති.. :D

      Delete
  11. මේ 2016 තාම හොයාගෙන නැද්ද මොකද වුනේ කියලා

    ReplyDelete

සංවාදයට විවෘතයි.

Related Posts Plugin for WordPress, Blogger...